රාජපක්ෂවරුන් අද කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ

Share

ඡනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට ඉදිරි අවුරුදු පහේදි  මීට වඩා දෙගුණයකින් වැඩ කළ හැකි වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

ජාතික ආණ්ඩුව නිසා අවුරුදු හතර හමාරක කාලයක් කොතෙකුත් බාධා හා ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවු බවත් ඒ අතර දින 52ක ආණ්ඩු බලය අහිමිවීමකට පවා ලක්වු බවත් පැවසු අමාත්‍යවරයා ගෝල්පේස් පිටිය ජනතාවගෙන් පුරවා ජනබලය පෙන්වා නැවත ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ දෙගුණයක වේගයෙන් වැඩ කරගෙන යාමට හැකි වු බව පැවසීය.

අමාත්‍යවරයා මෙසේ  පැවසුවේ බිංගිරිය මැතිවරණ කොට්ඨාසයේ පැවති ජනාධිපතිවරණ ජනහමුව අමතමිනි.

අපි තරම් වැඩ කළ ආණ්ඩුවක් අපි තරම් බැණුම් අහපු ආණ්ඩුවක්ද තවත් නැහැයි පැවසු අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශය පමණක්, ළගම පාසල හොඳම පාසල වැඩසටහන, පාසල් දරුවන් හැම දෙනාමදෙනාටම සුරක්ෂා රක්ෂණය මගින්  රක්ෂණාවරණය ලබාදීම, වැනි දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද බවත් ජනතාවට සහන ලබා දෙන අතර ආණ්ඩුව ගම සංවර්ධනයට ගම්පෙරළිය වැඩසටහනින් රුපියල් ලක්ෂ ‍ 5,000 ක් වැනි මුදලක් ලබාදෙමින් වසර හතර හමාරක පමණ කෙටි කාලයක් තුළ ඉටු කරන ලද ජනතා සේවාවන් ගණනාවක් පිළිබඳව  සිහිපත් කළේය.

මෙහිදි අදහස් දක්වමින්  අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“රාජපක්ෂවරුන් අද කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ. 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන දාලා එක රාජපක්ෂ කෙනක් ගෙදර යැව්වා. මෙවර සජිත් ප්‍රේමදාස දාලා අනෙක් රාජපක්ෂත් ගෙදර යවනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා  අපේක්ෂකයා වශයෙන්  නම් කරපු දින පටන් අප පක්ෂය එකම කණ්ඩායමක් ලෙස  කටයුතු කරනවා වෙනත් පක්ෂ වගේ නෙවෙයි අපේ පක්ෂයේ වෙනස එයයි. අප මෙම මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්නා විට තිබුණ  තැනින් දවස ගානේ ඉස්සරහට ඇවිත් දැන්  හොඳ තැනකට පැමිණ තිබෙනවා.

ලෝකය සමග ගණුදෙනු කළ හැකි අයත් ගමේ ජනතාවගේ හද ගැස්ම හඳුනන අයත් අපේ කණ්ඩායමේ ඉන්නවා. පක්ෂයක් විදිහට අපි ඉතාමත් වේගයෙන් ඉදිරියට ඇවිත් සිටිනවා. 2015 මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වන විට හිටි තැනින් මාසයක් තුළ හොඳ තැනකට ආවා. ජන්දයට සති දෙකක් තිබිය දි විරුද්ධවාදීන් පසුකරගෙන යන්න අපට හැකි වුණා මෙවර මැතිවරණ ව්‍යාපාරයත් ඒ වගේම තමයි. රටේ සෑම පළාතකින්ම ඡන්ද ලබාගෙන අපේ අපේක්ෂකයා ජයගන්නවා” යැයි ද අමාත්‍යවරයා  පැවසීය.

Read more

Local News