මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පැනවු තහනම් නියෝගයේ කාලය තවදුරටත් දීර්ඝ කෙරේ

Share

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් ගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබු තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විවිධ පාර්ශව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 ක් අද(29) බුවනෙක අලුවිහාරේ, එස්. තූරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී එම විනිසුරු මණ්ඩලය විසින් එම තහනම් නියෝගය දීර්ඝ කරනු ලැබ තිබේ.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයට දන්වා සිටියේ, ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා පෙත්සම් විභාග කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී නීතිපතිවරයා විසින් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වන ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ පෙත්සම් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට දැනටමත් අධිකරණය විසින් තීරණය කර ඇත්තේ අධිකරණ බලය තිබෙන නිසා බවත් එම නිසා මෙම පෙත්සම් විභාග කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙන බවත් සඳහන් කළේය.

එම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය මහජනතාවගේ දැඩි අවධානයට පාත්‍ර වන නඩු නිමිත්තක් බැවින් මෙය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සඳහා තම ඉල්ලීම් අග විනිසුරුවරයා වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලිම සටහන් කරගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම කළේය.

අනතුරුව පෙත්සම් සියල්ල දෙසැම්බර් මස 9 වනදා යළි කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට නියම කළේය.

ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පාර්ශව කීපයක් විසින් පෙත්සම් 15 ක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් පැවති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවන් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමන් අත්සන් යොදන බව ප්‍රකාශ කළ බවයි.

මේ ආකාරයෙන් තෝරාගත් වරදකරුවන් පිරිසකට පමණක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් එතුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන අයිතිය ලැබීමට ඇති මූලික හිමිකම උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එබැවින් තෝරා ගත් සිරකරුවන් පිරිසකට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාල දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News