හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහි නඩුවක් කල්යයි

Share

අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්.ඩී. නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් නොවැම්බර් මස 29 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

මෙම නඩුව අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැදවනු ලැබුවේය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2020 වසරේ මැයි මස 15 වනදා තෙක් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එම අවස්ථාවේ නඩු ගොනුව පරික්ෂා කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීයාට පෙන්වා දුන්නේ එම තහනම් නියෝගයේ සහතික පිටපතක් නඩු ගොනුවට ඇතුළත් වී නොමැති බවයි.

ඒ අනුව අදාළ තහනම් නියෝගය පිළිබඳ සහතික පිටපත නොවැම්බර් මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කර තිබේ.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ අභියාචනාධිකරණ විනිසුරු නවාස් යන මහත්වරු නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ අවධියේ ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන අක්‍රමිකතා වක් සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීමට උපදෙස් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Read more

Local News