චානුක රත්වත්තේ ඇතුළු පිරිසකට එරෙහි නඩුව කල්යයි

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව “එන්ට්‍රස්ට්” නැමැති මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාමේ චෝදනාව   සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටි සිසිර බණ්ඩාර දිසානායක නමැති එම සමාගමේ අධ්‍යක්ෂවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් නැවතත් වරෙන්තු නිකුත් කර ඇත.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කෙළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කිරීම සිදු කර ඇත.

මෙම නඩුව අද (29) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින චානුක රත්වත්තේ මහතා ඇතුළු පස් දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී චානුක රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශය මගින් පරීක්ෂණයක් පැවැත්වූ බවත් එම පරීක්ෂණයට අදාල සම්පුර්ණ ගොනුව තමන් වෙත ලබාදෙන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ එම සම්පූර්ණ නඩු ගොනුව තුල වෙනත් විමර්ශන වලට අදාල ලේඛන ද තිබෙන බැවින් එම සම්පූර්ණ ගොනුව ලබා දීම අපහසු බවයි.

එහිදී විනිසුරුවරයා සඳහන් කර සිටියේ මෙම කාරණය සම්බන්ධයෙන් ලිඛිත දේශන තිබේනම් ඒවා නොවැම්බර් මස 29 දා ඉදිරිපත් කරන ලෙසයි.

ඉන්පසුව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදෙන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

Read more

Local News