ජනාධිපති අපේක්ෂකයන් විසින් පරිසරය පිළිබඳ සිය ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කළ යුතුයි

Share

ජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ලබාදෙන ප්‍රතිඥාවලදී සහ සිය මැතිවරණ ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තම ප්‍රතිපත්තිය පැහැදිළිව ඉදිරිපත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලොව පුරා සිදුවන පරිසර විනාශය අද මිනිසා ප්‍රමුඛ සියලූ සතුන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමිකරමින් සිටින අතර එබැවින් දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීමට අංක 01 හිමිවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති පාරිසරික සම්මාන උලෙළ 2019 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පරිසර සංරක්ෂණය පිළිබඳ පුළුල් ලෙස මහජන සහභාගිත්වය ගොඩනැංවීමත්, සිවිල් සමාජ සහයෝගය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් වාර්ෂිකව ජනාධිපති පාරිසරික සම්මාන උලෙළ සංවිධානය කෙරේ.

පරිසර සංරක්ෂණ උද්යෝගය වඩවාලීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමි කර්මාන්ත හා ව්‍යාපාර සංස්කෘතියක් ඇති කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන, කර්මාන්ත, ව්‍යාපාර, වෘත්තීය ආයතන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ විශිෂ්ට පාරිසරික සේවාවන් අගයමින් ක්ෂේත්‍ර 20ක් යටතේ මෙවර සම්මාන ප්‍රදානය කිරීම සිදු විය.

රන් සම්මාන 12 ක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභීන් වෙනුවෙන් පාරිසරික සම්මාන 07 ක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියයහ.

Read more

Local News