ගෝඨාගේ ජය වෙනුවෙන් සැවොම පෙනී සිටිය යුතුයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම භේදයක් නැතිව සියලු දෙනාම එකා වගේ නොවැ. 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්නැයි තමන් ඉල්ලා සිටින බවත් .මේ දෙයින් ශ්‍රීලනිප පාක්ෂිකයා අතරමං වෙයි, පාක්ෂිකයාට අවැඩක් වෙයි කියලා පාක්ෂිකයින්ට සැකයක් තියෙනවා නම් ඉතාම වගකීමෙන් ඒවැනි එකඟතාවයත් එක්ක කිසිම ශ්‍රිලනිප පාක්ෂිකයකුට අවැඩක් වෙන්න අපි ඉඩ නොතබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා,

“ජනාධිපතිවරණයට මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. සමහරු බලාගෙන හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ නැති නිසා මේ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවර වෙයි කියලා. සමහරු හිතාගෙන හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආයේ අනාගතයක් නෑ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවැම්බර් මාසේ 16 වැනිදා වෙන කොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් බිහි කරනවා කියන එක අපි රටටම කියනවා. හැමෝම හිතුවේ අපි නිහඬ වෙලා ඉඳියි, කරබාගෙන ඉඳියි කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එහෙම පක්ෂයක් නෙමෙයි.

1951 බණ්ඩාරනායක මහතා  මේ පක්ෂය හදලා 1956 ආණ්ඩුවේ ඉඳන් මේ වෙනකල් මේ රටට ජනතා ජයග්‍රහණ ලබා දීලා තියනවා නම් ඒ ලබා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන්. එදා සමඟි ආණ්ඩුවේ ඉඳන් අද වෙනකල් මේ රටේ ජනාධිපතිවරුන් විදිහටත්, ආණ්ඩු විදිහටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු තමයි මේ රටට ජයග්‍රහණ ලබා දීලා තියෙන්නේ. එහෙව් පක්ෂයක සාමාජිකයෝ වෙච්ච අපට මේ මැතිවරණයේ කරබාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. අපි තීන්දුවක් ගත යුතුයි. ඒ  තීන්දුව හරි වෙලාවට හරි අතට ගත යුතුයි. ඒ නිසා තමයි අපි කිව්වේ තීන්දුව හරි අතට කියලා. අපි ගන්න තීන්දුව වැරදි අතට ගන්නේ නෑ. වැරදි වෙලාවේ ගන්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත යුතු නියම තීන්දුව, නියම වෙලාවට හරි අතට ගන්න අපට ශක්තිය තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන මෛත්‍රීපාල සිරිසේන මහතාට  ශක්තියක් තිබුණා, පුළුවන්කමක් ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියම තැන හරි වෙලාවට හිටවන්න. ඒ නිසා තමයි නොවැම්බර් 16 වැනිදා මේ රටට නැවත වතාවක් සාධාරණයක් ඉෂ්ඨ වෙන්නේ. රටේ අනාගතය වෙනුවෙන් නැවත වතාවක් ඒ තීරණාත්මක තීන්දුව ගන්න පුළුවන්කම ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා  හරි තීන්දුව නිවැරැදි වෙලාවේ ගත්ත නිසයි. ඒ නිසා අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා, මේ මැතිවරණයට අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවුණට අපිට නැවතවතාවක් පුළුවන්කම ලැබෙනවා පරණ තිබුණ තරහා, පරණ තිබුණ අඩුපාඩුකම් සියල්ලම පැත්තකින් තියලා පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී බෙදිච්ච, රණ්ඩු වෙච්ච, ගමේ නෑදෑකම, හිතවත්කම නැති කර ගත්ත අපි ඒ සියල්ලම අමතක කරලා අපිට නැවත වතාවක් පුළුවන්කම ලැබෙනවා අලුත් ගමනක් යන්න. මොකක්ද මේ අලුත් ගමන, පරණ වැරදි, අඩුපාඩුකම් ආයේ කරන්නේ නෑ කියන පොරොන්දුවත් එක්ක වර්තමානයේ තියෙන හොඳ ටික ඉස්සරහට ගෙන යනවා කියන පොරොන්දුවත් එක්ක අනාගතයේදී මේ රට නියම තැනට ගෙන යනවා කියන පොරොන්දුව හා විශ්වාසය එක්ක. දුරස් වුණ, වෙන් වුණ අපිට එකතු වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වෙනුවෙන් ගිවිසුම් අත්සන් වුණා. අපේක්ෂකයා සමග මෙන්ම , පක්ෂයත් සමග ගිවිසුම් අත්සන් වුණා.  ඒ වගේම ඉදිරි මැතිවරණ පිළිබදව සන්ධානත් බිහි වෙනවා. එහෙම නම් දැන් අපිට හිතේ කහටක් නැතිව අමනාපයක් නැතිව, වෛරයක් නැතිව, සැකයක් නැතිව අපිට මේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. ඉතිහාසයේ ඒ සිදු වුණ නොකලයුතු දේවල් , නොවිය යුතු දේවල් ඒ සියල්ලම අමතක කරලා යහපත් දේ ඉදිරියට රැගෙන රට ඉස්සරහට ගෙන යන්න අපි දෙගොල්ලන්ටම එකතු වෙන්න පුළුවන්කම ලැබුණා.  ඒකේ ප්‍රතිපලය තමයි අපි නොවැම්බර් මාසේ 16 වැනිදා මේ රටේ අලුත් ගමනක්, අලුත් මාවතක් රටේ සියලු ජනතාවත් එක්ක, රට අලුත් තැනකට ගෙන යන්න තමයි අද අපි සූදානමින් ඉන්නේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News