ජනපතිවරණ කාල සීමාවේ දී ආපදා තත්ත්වයක් මතු වුවහොත් අවශ්‍ය පියවර

Share

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ යම් කිසි ආපදා තත්ත්වයක් මතු වුවහොත් ඊට අවශ්‍ය පියවර ගැනීමට මේ වනවිටත් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

එසේම ජනාධිපතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ කාලගුණයෙන් මැතිවරණය පවත්වාගෙන යාමට අයහපතක් ඇති නොවන බවත් ඒ මහතා පවසයි.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරියේදී පහව යනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය ප්‍රකාශ කළේ ගිණිකොන දෙසින් වර්ධනය වු වායු ගෝලයේ කැළඹිලි සහගත ස්වභාවය අද සිට අඩුවන බවයි.

එසේම අද දින රාත්‍රියේ උතුරු පළාතට වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවත් ඒ මහත්මිය පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය ප්‍රකාශ කළේ නිල්වලා ගඟේ පමණක් ජල මට්ටමේ වර්ධනයක් සිදු වන බවයි.

අනෙක් ගංඟා සියල්ලක් පාහේ සාමාන්‍ය තත්ත්වයේ පවතින බවත් ඒ මහත්මිය පැවසීය.

එහිදී අදහස් දැක්වු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ නාය යෑම් අවදානම හේතුවෙන් පවුල් 30ක් මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

එසේම ඇල්ල වැල්ලවාය මාර්ගයේ 14 කණුව ප්‍රදේශයේ රාවණා ඇල්ල ආශ්‍රිතව ගල් පෙරළීම හේතුවෙන් වසා දමා ඇති අතර ගල් කුට්ටි ඉවත් කර මාර්ගය ආරක්ෂිතභාවයට පත් කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා ප්‍රකාශ කළේ මේ වන විට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ 9ක් වාර්තා වී ඇති බවයි.

මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 30ක පවුල් 2264කට අයත් පුද්ගලයින් 9101 දෙනෙකු රැඳී සිටින බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News