රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට ඔක්සිජන් දුන්නේ මහින්ද

Share

රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට ඔක්සිජන් සැපයුවේ මහින්ද රාජපක්ෂ රජය බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ඒ මැදවච්චිය ප්‍රදේශයේ දි සජිත් දිනවන ජන රැළියේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රජරට වකුගඩු රෝගයෙන් ජනතාව විසිදහසක් පමණ රෝගී තත්ත්වයට ගොදුරු වීමට මුල මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ආනයනය කරන ලද බාල පොහොර බවත් ඒවා පරිහරණය කිරීමෙන් රජරට ජනතාව අද වන විට ඉන් දෙදහසක් පමණ මිය ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සමාජ සේවා අමාත්‍යවරයා ලෙස 2015 වර්ෂයේ දී තමන් විසින් සකස් කරන ලද කැබිනට් පත්‍රිකාව අනුව රජරට වකුගඩු රෝගීන් 18,000කට  මාසිකව රුපියල් 5,000ක මුදලක් ලබා දීමට තම රජයට හැකි වූ බව අමාත්‍යවරයා පැවසීය.

වකුගඩු රෝගීන් බේරා ගැනීමට බාල පොහොර ආනයනය පිළිබඳ දිගින් දිගටම මහින්ද රාජපක්ෂ රෙජීමයට චෝදනා කළ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේත් එම කඳවුරටම එකතු වීම ලැජ්ජා සහගත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලබන ජනවාරි වන විට වකුගඩු රෝගය ව්‍යාප්තව පීඩා විදින මැදවච්චිය ජනතාවට මොරගහකන්ද පානීය ජල ව්‍යාපෘතිය මඟින් පානීය ජල අවශ්‍යතාවය සපිරෙන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මහ කන්නයට අවශ්‍ය ගුණාත්මක බවින් යුත් පොහොර මේ වන විටත් ගොවිජනතාව වෙනුවෙන් ගෙන්වා අවසන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

උතුරු නැගෙනහිර පවත්වනු ලබන පොදුජන පෙරමුණේ රැළි වෙනුවෙන් කුරුණෑගල, ගම්පහ පාක්ෂිකයන් අනුරාධපුරට ගෙන්වා නළලෙහි ඉරි තුනක් ඇඳ දෙමළ වෙස් ගන්වා සෙනඟ පෙන්වීමට උත්සහ දැරීම හාස්‍යයට කරුණක් බවත්, අමාත්‍යවරයා සඳහන් කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරට දිගින් දිගටම පැමිණ ඇත්තේ අටමස්ථානය වඳින්නට නොව ඥානම්මාගේ දේවාලය වැඳීමට බවත්, ජනතාව මෙවැනි අන්ධ භක්තිකයෙකුට මෙවර තම ඡන්දය ප්‍රකාශ නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News