තාජුදීන් ඝාතනයට අදාළ නඩුවක් ලබන වසරට කල්යයි

Share

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන පෙබරවාරි මස 24 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (31) දින නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුට අදාළ චෝදනා පත්‍රය විවෘත අධිකරණය හමුවේ කියවනු ලැබුවේය.

එම චෝදනා වලට තමන් නිවරදිකරු බව විත්තිකාර මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති ආකාරය දෝෂ සහගත බවට විත්තියේ නීතිඥවරයා විසින් මීට පෙර මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අද දින නියෝගයක් ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව පදනම් සහිත බවයි.

ඒ අනුව චෝදනා සංශෝධනය කිරීමට නීතිපතිවරයාට අවස්ථාව තිබෙන බව සඳහන් කළ විනිසුරුවරයා එසේ චෝදනා සංශෝධනය නොකරන්නේ නම් විත්තිකරු මුදාහැරීමට අධිකරණයට සිදුවන බවද සඳහන් කර සිටියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම චෝදනා පත්‍රය සංශෝධනය කරන බවයි.

ඉන් අනතුරුව සංශෝධනය කරන ලද චෝදනා පත්‍රය විත්තිකරුට කියවා දීමෙන් පසුව නඩුව පෙබරවාරි මස 24 වන දා විභාගයට තැබීමට අධිකරණය නියම කළේය.

2012 වසරේ අභිරහස් ලෙස මරා දැමුණු වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ වරදකරුවන් නීතියේ රැහැනින් බේරාගැනීමේ අරමුණින් මරණකරුගේ අස්ථි කොටස් විනාශ කිරීම තුළින් ඊට අදාළ වැදගත් සාක්ෂි වසන් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Read more

Local News