කළුගල් හා රතිඤ්ඤා කර්මාන්තය යළි නඟා සිටුවන බව සජිත් කියයි

Share

විවිධ ගැටළු හේතුවෙන් කළුගල් හා රතිඤ්ඤා ආශ්‍රිත ව්‍යාපාර සඳහා පනවා ඇති නීතිරීති පරිසරයට හානියක් නොවන ආකාරයෙන් ලිහිල් කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හාරිස්පත්තුවේ පැවැති ජනරැලියක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රේමදාස මහතා කියා සිටියේ, ලංකාවේ සෑම බෝගයකටම වෙනමම රජයේ දෙපාර්තමේන්තුවක් ඇති බවයි.

නමුත් සුළු අපනයනය බෝග වෙනුවෙන් රජයේ ආයතනයක් නොමැති බවද පැවසු ඒ මහතා එනිසා නොවැම්බර් 16 වන දා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ලංකාවේම සුළු අපනයන බෝග වගාකරුවන් වෙනුවෙන් වෙනම සුළු අපනයන බෝගවගා අධිකාරියක් ඇති කරන බවත් කියා සිටියේය.

ගම්මිරිස්, කරාබු, සාධික්කා වැනි නිෂ්පාදනවලට සහතික මිලක් ලබා දෙන බවත් එම කර්මාන්තය කරන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලංකා ඉතිහාසයේ කාෂිකර්මය සඳහා පළමුවරට දැවැන්තම ජාතික වැඩසටහන ආරම්භ කරන බවත් පැවසු ඒ මහතා, ඒ තුළින් රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නා බවත් කියා සිටියේය.

රටේ ආහාර අවශ්‍යතාවය ලංකාවේ ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්න සැලසුම් කරන බවත් පැවසු ප්‍රේමදාස මහතා, පිටරටින් බෝග ආනයනය කරන්න කටයුතු නොකරන බවද සඳහන් කළේය.

සෑම වගාවක් සඳහාම 16 වෙනිදා ලබා ගන්නා ජයග්‍රහණය සමඟ නොමිලේ පොහොර ලබා දෙන බවත් පැවසු ඒ මහතා, කළුගල් කර්මාන්තය හා රතිඤ්ඤා ආශ්‍රිත ව්‍යාපාර විවිධ ප්‍රශ්න හේතුවෙන් පැනවු රෙගුලාසි හේතුවෙන් අගතියක් සිදුව ඇතැයි ද පැවසීය.

තමා ජනාධිපති වන විට එම රෙගුලාසි ලිහිල් කර පරිසරයට හානි නොවන ලෙසට මෙම කර්මාන්ත දෙක නැවත නඟා සිටු වීමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.

Read more

Local News