MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලිම ජනවාරි මස 31

Share

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට සූදානම් වන  Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා  ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් සලකා බැලීම සඳහා ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම් අද(13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී. බී.දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මෙම නඩුවට අදාළ පෙත්සම් පමණක් ලැබී තිබෙන බවත් ඊට අදාළ ඇමුණුම් ලැබී නොමැති බවත් කියා සිටියේය.

ඒ අනුව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි ඇය ඉල්ලා සිටියේය.

එහිදී පෙත්සම් ඉදිරිපත් කළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගත යුතු පෙත්සමක් බව පෙන්වා දුන්නේය.

රජය විසින් අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් මගින් මෙරට ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන අතිශය සංවේදී ගිවිසුම් බව පෙන්වා දුන් ජනාධිපති දුන් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා එම ගිවිසුම් අත්සන් කරනු ලැබූවොත් අමෙරිකානු හමුදාවලට නිල  ඇඳුම් සහ ආයුධ සන්නද්ධව ශ්‍රී ලංකාව තුළට පැමිණ නිදහසේ ගමන් කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කර සිටියේය.

එලෙස පැමිණෙන ඇමරිකානු හමුදාවන් මෙරට හෝ ජාත්‍යන්තර කිසිදු නීතියකට යටත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙරට ඉඩම් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ බලය ඇමරිකාවට හිමිවන බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට දැනුම් දුන්නේ මෙම ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව රජයේ ස්ථාවරය ලබන 13 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 31 වනදා සිදු කරන බවත් වගඋත්තරකරුවන්ට අවශ්‍ය කරනු ලබන ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුමඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය නීතිඥවරයාට දැනුම් දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් යන පාර්ශව විසින් පෙත්සම් ගොනු කර තිබූණි.

පෙත්සම්කරුවන් කියාසිටින්නේ  Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක්  සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව කියා සිටියි.

එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ  මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පිරිසක් නම් කර තිබේ.

 

Read more

Local News