රටේ ආරක්ෂාව ගැන වෙඬරුවේ හිමිගෙන් ඉල්ලීමක්

Share

රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි ජාතික නායකයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

එසේම සිය යුග මෙහෙවර ඉටු කිරීම සඳහා මෙවර ජනාධිපතිවරණයේ වැඩි වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට පැමිණෙමින් තිබෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද කියා සිටියේය.

“රටේ බුද්ධිමත් ජනතාව මහා විහාරයක් වශයෙන් අපේ තීන්දු තීරණ කෙබඳුද කියලා බලාගෙන ඉන්නවා.

ජනතාව බුද්ධිමත්ව කල්පනා කළ යුතු අවස්ථාවක් තමයි මේ අවස්ථාව.

රට අනාරක්ෂිතව ඇති බැවින් රට ආරක්ෂා කර ගත හැක්කේ කාටද?

දේශපාලන නායකයෝ නම් අපිට අඩුවක් නෑ. ඒත් ජාතික නායකයින්ගේ අඩුවක් තියෙනවා.

රට නිසි තැනකට ගන්න නම් ජාතික නායකයින්ගේ අවශ්‍යතාව තියෙනවා.

කතාවට වඩා ක්‍රියාවෙන් හැකියාව පෙන්වන නායකයෙක් රටට අවශ්‍යයි.

දෙන වගකීම හරියට ඉටු කරන නායකයෙකු අපිට අවශ්‍ය වී තියෙනවා.

අන්තවාදයට ජාතිවාදයට හිස ඔසවන්න නොදෙන නායකයෙක් තෝරගත්තොත් තමයි අපිට යහපත් අනාගතයක් තියෙන්නේ.

කඩා වැටිලා තියෙන සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය ගොඩගන්න පුළුවන් නායකයෙක් අපිට අවශ්‍යයි.

සියලු ජාතීන් සැක බිය නැතුව ඔවුනොවුන් කෙරෙහි සහෝදරත්වයෙන් බලන සමාජයක් ගොඩනැඟිය යුතුයි.

රට විනාශ කිරීමට නොව රට ගොඩනැඟිය හැකි කෙනෙක්ට ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කළ යුතුයි.

තමාගේ පුද්ගලික අවශ්‍යතා, පුද්ගලික රැකියා, උසස් වීම් මේවා අංක 2ට තබා අංක 1ට රට ගැන හිතලා තමන්ගේ වගකීම ඉටු කළ යුතුයි.”

Read more

Local News