සම්බන්ධන්ලා සුමන්තිරන්ලා ආඩම්බරයෙන් කියන දෙයක්

Share

සියලු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බව තහවුරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද(13) මහනුවර දී  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර රාජ්‍ය බුද්ධි අංශ වාර්තා අනුව ද ගෝඨාභය මහතාට ඡන්ද සියයට 57-59 ත් අතර ප්‍රතිශතයක් හිමිව ඇතැයි පැවසු ඒ මහතා රාජිත සේනාරත්න මහතාගේ නාටකයෙන් පසුව ජනතාව තවත් සියයට 1 ක් පමණ ගෝඨාභය මහතාට පක්ෂ වී ඇතැයි ද පැවසීය.

මඩ ගැසීමට රාජිත සේනාරත්න මහතා සිදු කළ ක්‍රියාව පිළිකුල් සහගතව හෙළා දකින ජනතාව මෙවැනි තීරණ ගනු ලබන බවත්, 16 වන දා වන විට මෙය තවත් වර්ධනය විය හැකි බවත් මන්ත්‍රිවරයා කියාසිටියේය.

අද වන විට බුද්ධි අංශවල සිටින පුද්ගලයින් පවා රට නිවැරදි තැනකට යෑමට අවශ්‍ය තීරණ ගනු ඇතැයි විශ්වාසයෙන් සිටින බවත් මේ දිනවල වංචාවන්ට සම්බන්ධ මැති ඇමතිවරු තමන්ගේ ලිපි ලේඛන ඉවත් කරමින් සිටින බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

මේ අතර සුමන්තිරන් හා සම්බන්ධන් විසින් පසුගිය දා සිදුකරනු ලැබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය.

“සිංහලයන්ගේ මතවාදය පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය ලබා දීමෙන් පමණයි“ යන ජාතිවාදී ප්‍රකාශය සුමන්තිරන් විසින් යාපනය ප්‍රදේශයේ සිදු කරමින් ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, සම්බන්ධන් මහතා විසින් ඉතා පැහැදිලි ලෙස එල්.ටී.ටී.ඊ ය විසින් ලබා ගැනීමට ගිය සියලු දේ පොරොන්දුවක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා ලබා දී දුන් බවට ප්‍රකාශ කරන බවයි.

කෙසේ නමුත් සුමන්තිරන් විසින් පොහොට්ටුවට චෝදනා කරමින්, පොරොන්දුවක් හෝ ලබා දීමට එකඟ නොවු බව පවසන බවත් කියා සිටියේය.

දේශපාලන වාසියක් උදෙසා තිස් දහසක් ජීවිත පුජා කර , ලබා ගත් ජයග්‍රහණය සජිත් ප්‍රේමදාස මහතා කොළයක අත්සන් කර ලබා දි ඇති බව බොහොම ආඩම්බරයෙන් සුමන්තිරන් හා සම්බන්ධන් පවසන බවත් රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

පොදු ජන පෙරමුණ බොරුවට හෝ පොරොන්දුවක් ලබා දීමට කිසිවිටෙකත් එකඟ නොවන බවත් පැවසු ඒ මහතා එය ඉතා ආඩම්බරයෙන් පවසන බවත් කියා සිටියේය.

Read more

Local News