නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ආරම්භ කරන බව සජිත් කියයි

Share

ත්‍රිවිධ හමුදාවේ නිලධාරී පවුල්වලට ලබා දෙන පහසුකම් පොලිස් සේවයේ සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සෙසු සේවාවන්ට ලබා දීමට කටයුතු කරන බවත්, උපාධිදාරී පොලිස් නිලධාරීන්ට උපාධියට සරිලන උසස්වීම් ලබා දීමට ක්‍රියා කරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනම අධිකාරියක් පිහිටුවා, හස්ත කර්මාන්තය සංවර්ධන කිරීමට පියවර පන්නා බවත්, ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මාතලේ නගරයේ පැවති ජන රැළියට ඊයේ(12) දින රාත්‍රියේ එක් වෙමිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් කැඳවුම්කරු මෛත්‍රී ජෝසන් මහතා සහ ලංකා වතු කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.බෝස් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මෙම ජන හමුවට එක්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

“රටේ පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කිරීමට කටයුතු කරන සජිත් ප්‍රේමදාසගේ සමාජ විප්ලවය පිළිබඳව කුහකයෝ කොට්ඨාශයක් බොහොම කලබල වෙලා.

සේවයේ සිටින පෙරපාසල් ගුරුතුමියන්ට සහ සහයක ගුරුතුමියන්ට රජයෙන් පඩි නඩි වේතන ගෙවනවා.

පෙර පාසල් සඳහා මානව සම්පත සහ ගොඩනැඟිලි, ළමා උද්‍යාන වැනි භෞතික සම්පත් ලබා දී, දරු දැරියන්ට දිවා ආහාරයද ලබා දීමට කටයුතු කරනවා.

එමඟින් නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ආරම්භ කරනවා.”

Read more

Local News