මෙවර ජනාධිපතිවරණ නිහඩ සමය සාමකාමීයි – කැෆේ

Share

ජනාධිපතිවරණ නිහඩ සමය තුළ සහ මැතිවරණ සමය තුළ ඡන්ද දායකයින්ට අල්ලස් දීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අද(14) රත්නපුරදී පැවැති කැෆේ සංවිධානයේ වැඩමුළුවකදී මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, පූර්ව මැතිවරණ සමයේ තම සංවිධානය වෙත පැමිණිලි 735ක් වාර්තා වී ඇති බවයි.

මීට අමතරව සමස්තයක් ලෙස සලකාබැලූ කල අනිකුත් ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණ නිහඩ සමය සාමකාමී බවද ඒ මහතා පැවැසීය.

නිහඩ සමය තුළ මේ වනතෙක් ලැබී ඇත්තේ පැමිණිලි 8ක් පමණක් බව පෙන්වා දුන් මනාස් මකීන් මහතා කියා සිටියේ ඒවා ප්‍රචාරක පුවරු සහ මෙහෙයුම් කාර්යාල ඉවත් නොකිරීම සම්බන්ධයෙන් වාර්තා වූ බවයි.

මෙවර නිහඬ සමය තුළ සහ මැතිවරණ දිනයේ ඡන්ද දායකයින් වෙත අල්ලස් ලබාදීමේ සිදුවීම් වාර්තා විය හැකි බවත්, ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් මෙම ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

නිහඩ සමය සහ මැතිවරණ දිනයේ ජංගම නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 2300ක් යෙදවීමට අපේක්ෂා කරන බව ද මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය.

Read more

Local News