ජනපතිවරණ අපේක්ෂකයින් 33කගේ ඇප මුදල් රාජසන්තක වෙයි

Share

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාගෙන් 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වී තිබේ.

ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 5% ක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙකී අපේක්ෂකයින් 33 දෙනාගේ ඇප තැන්පතු අහිමි වී ඇත.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ (52.25%) සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස (41.99%) යන අපේක්ෂකයින් දෙදෙනා පමණක් ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්විය.

ජනාධිපතිවරණයේ තෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් වාර්තා කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මුළු ඡන්ද ප්‍රමාණයෙන් 3.16% ක් පමණක් ලබා ඇති බැවින් ඔහුගේ ඇප මුදල ද මේ අනුව ඔහුට අහිමි වනු ඇත.

ජනාධිපතිවරණය සඳහා යම් අපේක්ෂකයෙකු පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් රුපියල් 50,000 ක ඇප තැන්පතුවක් සිදුකළ යුතු වන අතර ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන්නේ නම් ඇප තැන්පතුව රුපියල් 75,000 කි.

මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද 15,992,096 න් 13,387,951 ක් හෙවත් 83.72% ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

මෙම සංඛ්‍යාවෙන් 13,252,499 ක් හෙවත් 98.99%ක් වලංගු ඡන්ද ලෙසින් වාර්තා වූ අතර ප්‍රතික්ෂේප වී තිබුණේ ඡන්ද 135,452 ක් (1.01%) ක් පමණි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම අපේක්ෂකයින් ගණන ලෙසින් 35 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්වී තිබුණු අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපෙක්ෂකයෙකු විසින් තැන්පත් කළ යුතු ඇප මුදල සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබිණි.

මේ තත්ත්වය මත ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීම ඇතුළු තවත් කරුණු ගණනාවක් හේතුවෙන් මැතිවරණය සඳහා දැවැන්ත අතිරේක වියදමක් දැරීමට මැතිවරණ කොමිසමට සිදුවිය.

Read more

Local News