බුදු දහමට අපහාස කළ පාලකයන්ට ජනතාව පිළිතුරු දුන්නා

Share

මෙරට සංඝරත්නයට සහ බුදු දහමට අපහාස කළ පාලකයින්ට මෙවර මැතිවරණයෙන් ජනතාව නිසි පිළිතුරු ලබාදී ඇති බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසයි.

අස්ගිරි මහා විහාර පරිශ්‍රෙය්දී උන්වහන්සේ මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ චාරිත්‍රානුකූලව දිවුරුම් දෙනු ලැබු බවත් කියා සිටි උන්වහන්සේ, නිර්භීත රාජ්‍ය නායකයෙක් ලෙස ගෝඨාභය මහතා ජාතිය අමතා කළ ප්‍රකාශයෙන් සිංහල, බෞද්ධ ජනතාවට මහත් අභිමානයක් ඇති වු බවද පැවසීය.

රට තුළ අනාදිමත් කාලයක සිට බෞද්ධයන්ට තිබු අභිමානය, ගත වු කාලය තුළ ඉතාම ශෝචනීය තත්ත්වයකට පත්ව තිබුණු බවත් පැවසු උන් වහන්සේ, රටේ සිංහල බෞද්ධ ජනතාව ඉතා අසරණ වු මොහොතක ජාතියේ පිනට පහළ වූ නායකයෙක් ලෙස ගෝඨාභය මහතා සඳහන් හැකි බවත් කියා සිටියේය.

මෙරට ඇතැම් දේශපාලනඥයින් මෙය සිංහල බෞද්ධ රටක් යැයි පැවසීමට පවා පෞර්ශයක් නොමැති රට ගැන හැඟීමක් නැති පිරිසක් බවත් සඳහන් කර සිටි නාරම්පනාවේ ආනන්ද හිමියන්,  මෙවැනි පෞර්ශයක් ඇති නායකයෙක් පහළ වීම ජාතියේ පිනක් ලෙස දැකිය හැකි බවත් පැවසීය.

පසුගිය දිනක දේශපාලනඥයෙක් “ත්‍රිවිධ රත්නයෙන්, මේ රටට බුද්ධ රත්නයේ සහ ධර්ම රත්නයේ පිහිට ලැබේවා“ යනුවෙන් සඳහන් තිබු බවත් පැවසු උන්වහන්සේ, හැම කෙනෙක්ම තෙරුවන් සරණ යාමෙන් බෞද්ධයෙක් වෙන බවත් කියා සිටියේය.

බෞධයන්ගේ මුලික අනන්‍යතාවයන් නිර්දය ලෙස අභියෝගයට ලක්කිරීම සහ ඒවා විවේචනය කිරීමට තරම් දේශපාලනඥයන් පත්වීම හේතුවෙන් එම දේශපාලනඥයන් නියෝජය කරන ලද පක්ෂයට මෙවර මැතිවරණයෙන් පැහැදිලි කර ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News