රජිනිකාන්ත් හා කමල් හසන් දේශපාලනය කරන්න එක්වෙයි

Share

රංගන වෘත්තියෙන් දේශපාලනයට පිවිසු දකුණු ඉන්දීය සුපිරි සිනමා තරු වන රජිනිකාන්ත් සහ කමල් හසන් දේශපාලනයේදී එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළකර තිබේ.

තමිල්නාඩු දේශපාලඥයෙකු වන රජිනිකාන්ත් ප්‍රකාශ කළේ, එළැඹෙන තත්ත්වය මත තමිල්නාඩුවේ සුබ සිද්ධිය වෙනුවෙන් සිය සමකාලීන දේශපාලඥ කමල් හසන් සමග අත්වැල් බැඳ ගැනීමට සුදානම් බවයි.

වසර 43 ක කාලයක් එක්ව කටයුතු කළ තමන්ට තමිල්නාඩුවේ සංවර්ධනය වෙනුවෙන් රජිනිකාන්ත් සමග එක්වීම ආශ්චර්යක් නොවන බව කමල් හසන් ද අවධාරණය කළේ ය.

මෙම තත්ත්වය 2021 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට දැඩි බලපෑමක් සිදුකරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වීමට යන බවට පැතිර ගිය කටකතා ද රජිනිකාන්ත් පසුගියදා ප්‍රතික්ෂේප කළේ ය.

කමල් හසන් සිය පක්ෂය වන මක්කල් නීධි මායම් පක්ෂය ඉකුත් වසරේදී ඇරඹූ අතර 2021 වසරේ ප්‍රාන්ත සභා මැතිවරණයේදී ජයග්‍රහණය අත්කරගැනීම ඔහුගේ අපේක්ෂාවයි.

2017 වසරේදී දේශපාලනයට පිවිසෙන බව නිවේදනය කළ රජිනිකාන්ත් මෙතෙක් දේශපාලන පක්ෂයක් පිහිටුවා නොමැත.

කෙසේ වෙතත් සුපිරි තරු යුවලක් එක්ව දේශපාලනයට පිවිසීමෙන් අධෛර්යට පත් නොවූ අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය සඳහන් කළේ 2021 වසරේ ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ද තමන් ජයගන්නා බවයි.

Read more

Local News