ජාතික ආරක්ෂාව හැරුණුවිට ප්‍රමුඛතම අවධානය යොමු කළ යුත්තේ අධ්‍යාපනයටයි

Share

ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ජාතික ආරක්ෂාව හැරුණු විට රට ගොඩනැගීමේ දී ප්‍රමුඛතම අවධානය යොමු කර ඇත්තේ අධ්‍යාපනයට බවත්, එයින් මේ රටේ විශාල පරිවර්තනයක් ඇති කළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (22) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නිල වශයෙන් තම නව අමාත්‍ය ධුරයෙහි රාජකාරි භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අපේ රටේ තවමත් බොහෝ පාසල්, පන්ති කාමර පවතින්නේ 19 වැනි සියවසේ බවත්, ගුරුවරුන් සිටින්නේ 20 වැනි සියවසේ බවත් 21 වැනි සියවසේ සිටින දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී මතුව ඇති අර්බුදය එය බවත්, මේ තත්වය ගැඹුරින් අධ්‍යයනය කොට ඊට විසින් විසඳුම් සෙවිය යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

“ගෝඨාභය ජනාධිපතිතුමා පාට කණ්ණාඩි දාගෙන ඔබ දිහා බලන්නෙ නෑ. ඔබේ දේශපාලන වර්ණය, ලබ්ධිය මතවාදය එතුමාට අදාළ නෑ. ඉතිහාසයේ දේශපාලන සංස්කෘතිය වුණේ කොළපාට අය එනවිට නිල්පාට අය ගෙදර යැවීම සහ නිල්පාට අය එනවිට කොළපාට අය ගෙදර යැවීමයි. විය යුත්තේ එය නොවෙයි. අපට ඕනෑ වැඩ කරන නිලධාරීන් සමඟ ඉදිරියට යාමටයි…”යයි ද සඳහන් කළේය.

Read more

Local News