දුම්රියට ‌සේවකයන් 20000ක් අවශ්‍ය වුවද සිටිනුයේ සේවකයන් 13,000ක්

Share

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් 20,000ක් අවශ්‍ය වුවද දැනට සිටිනුයේ සේවකයන් 13,000ක් පමණක් බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අනාවරණය විය.

 

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මෙම උග්‍ර සේවක හිඟය 2013 වසරේ සිට පැවතියද, ඒ සඳහා නිසි විසඳුම් ලැබී නොමැති බවත්, ඒ හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවල කටයුතු පවත්වාගෙන යෑමට අසීරු වී තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ.

දුම්රිය මාර්ග නඩත්තුව, දුම්රිය ස්ථානවලට අදාළ කටයුතු සහ වෙනත් පරිපාලන කටයුතුවලදී ගැටලු මතු වී තිබෙන බවත් එම නිලධාරීහු සඳහන් කළහ.

සේවක හිඟය හේතුවෙන් ඇතැම් සේවකයන්ට මාසිකව පැය 350ක් 400ක් දක්වා අතිකාල සේවාවන්හි නිරත වීමට සිදුව ඇති බවත්, පසුගියදා අඛණ්ඩව පැය 37ක් සේවය කළ නිලධාරියෙකු හදිසි හෘදයාබාදයට ලක්ව මරණයට පත්වූ බවත් එම නිලධාරීහු ප්‍රකාශ කළහ.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි මගී ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම කරුණු හෙළි විය.

මගී ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

එක් එක් ශ්‍රේණි සඳහා දැනට පවතින පුරප්පාඩු සම්බන්ධව අමාත්‍ය මණ්ඩල දැනුවත් කිරීම සඳහා වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙසත්, ජාතික ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඉදිරි දැක්මක් සහිතව කටයුතු කරන ලෙසත් මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Read more

Local News