Tuesday, March 19, 2024.

ඒඩ්ස් මිනිස්සු වැඩියෙන්ම බයවෙන රෝගයක්

Share

HIV/AIDS නැතිනම් Human immunodeficiency virus and acquired immune deficiency syndrome යනු ප්‍රතිශක්ති ඌණකාරක වෛරසයකි.

එය මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ රෝග ඇති කරවයි. 1981 වසරේදී පමණ මෙය හඳුනා ගැනීම සිදුවූ බව කිය වේ. එමෙන්ම ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට එච් අයි වී ආසාදනය වැළැක්වූ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ලිංගාශ්‍රිත රෝග සහ ජාතික ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේ, වසර 2025 වනවිට මෙරටින් ඒඩ්ස් රෝගය තුරන් කිරීම සඳහා සැළසුම් සකස් කර ඇති බවයි. නමුත් සැළසුම් සකස් කළ පමණින් ඒඩ්ස් තුරන් කළ නොහැක. ඊට අවශ්‍ය ශක්තිය මානව ප්‍රජාව විසින් ලබාදිය යුතුම ය. එය මුලු මහත් මානව ප්‍රජාවගේම වගකීමකි. එම වගකීමට ඔබ මෙන්ම මම ද අවිවාදයකින් තොරව බැදී සිටී. ඒඩ්ස් වැළඳුණු පුද්ගලයකු ලොව මුල්වරට හමුවූයේ 1981 වසරේදී ය. මේ වනවිට ලොව පුරා මිලියන 80කට ආසන්න සංඛ්‍යාවක් ඒඩ්ස් රෝගයට ගොදුරු වී තිබේ.

කෙනෙක් ඔබෙන් ඇසුවොත් ඔබ වඩාත්ම අකමැති හා භයානකම රෝගය මොකද්ද කියලා ඔබේ පිළිතුර කුමක් වේවිද? නිසැකවම එයට පිළිතුර ලිංගාශ්‍රිත රෝගයක් විය හැකියි . මන්ද මිනිසුන් බහුතරයක් ලිංගාශ්‍රිත රෝගවලට බියවන බැවිනි. පසුගිය දෙසැම්බර් පළමුවැනිදා. වසරක අවසන් මාසයේ පළමු දිනය වගේම තවත් එක් විශේෂිත දවසක් . ඒ ලෝක ඒඩ්ස් දිනය . මෙවර එහි තේමාව, ප්‍රජාවගේ මැදිහත්වීම යන්නයි. එහි තේමාව ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යයකි. ප්‍රජාවගේ මැදිහත්වීම නැතිනම් ඒඩ්ස් තුරන් කිරීම ද හුදු සිහිනයක්ම පමණයි. ඒඩ්ස්, මිනිස්සු වැඩියෙන්ම බයවෙන රෝගයක්. ඒඩ්ස් රෝගයේ තියෙන භයානකකම නිසාම එහෙම බය වෙන එක අසාධාරණත් නෑ.

නමුත් මේ සමාජයේ විශේෂයෙන්ම දකුණු ආසියාතික රටක් වූ ලංකාව වැනි රටක ඒඩ්ස්වලට තියෙන මතය හරිම වෙනස්. දකුණු ආසියාතික රටක් විදිහට අපි ගොඩක් දේවල් දිහා බලන්නේ වෙනස් විදියකට. වෙනස් ආරකට . නමුත් ඒඩ්ස් යනු මිනිසුන් කොන්කර බැලිය යුතු රෝගයක් නොවේ. මන්ද බහුතරයක් ඒඩ්ස් රෝගීන් බහුතරයක්ම තමාට එච්.අයි.වී. ආසාදනය වී ඇති බව ද නොදන්නා බැවිනි.

එච්.අයි.වී. ආසාදිතයෙකුගෙන් මතුවන රෝග ලක්ෂණ සුවිශේෂ නැත. සාමාන්‍ය උණක් හෝ වෙනත් වෛරස ආසාදනයක් හෝ ඇතිවුණු කෙනකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ ද එහිදීත් දකින්නට හැකිය. මෙනිසාමයි ඒඩ්ස් යනු කුමක්දැයි නිවැරදි වූ වැටහීමක් මිනිසාට තිබිය යුත්තේ . එසේම ඔබ සියල්ල එක් පැත්තකින් පමණක් බලා තීරණය නොකරන්න . ඒඩ්ස් රෝගීන් සියල්ලම අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වූවන් නොවේ. නමුත් අමතක නොකළ යුතුම දෙය වන්නේ ද එයයි. ඒඩ්ස් වැළැදීමේ ක්‍රම අතර අනාරක්ෂිත ලිංගික හැසිරීම් මූලික වේ. තව ද ආසාදිත කටු මගින් , එනම් එකම කටුවකින් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම , ආසාදිතයින් හා රුධිර පාරවිලයනය , මවගෙන් දරුවාට එනම් , දරු ප්‍රසූතිය මෙන්ම මව්කිරි ලබාදීම වැනි අවස්ථා ද ඒඩ්ස්වලට පාර කපයි.

යම් පුද්ගලයෙකුට ඒඩ්ස් වැළැදීමට හේතුව සාධාරණ හෝ අසාධාරණ වුවත් එච්.අයි.වී. ආසාදිතයන් සමාජය තුළ කොන් කිරීම සාධාරණ වන්නේ නැත . HIV AIDS ශරීරගතවන්නේ ස්ව කැමැත්තෙන් හෝ සද්භාවයෙන්ම නොවේ. එය අහඹු ලෙස සිදුවන්නකි. එච්.අයි.වී. ආසාදිතයෙකුට අතට අත දුන් පමණින් හෝ එවැනි ආසාදිතයෙකුගේ ශරීරය ස්පර්ශ වූ පමණින් තමාට ඒඩ්ස් වැළදෙන්නේ යැයි සිතන බොළඳ මානසිකත්වයෙන් මිදෙන්න. එවැනි මානසිකත්වයකින් මිදී ඒඩ්ස් ආසාදිතයින් කෙරෙහි සානුකම්පිතව බලන්නේ නම් ඒඩ්ස් යනු කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමට ඔබට මට හැකි වේ. ඒඩ්ස් පිළිබඳව ඇති මිත්‍යා මත නිසා එවන් ආසාදිතයින් සමාජය තුළ කොන්වීම ද නොවැළැක්විය හැකි කරුණකි. මේ නිසා ඒඩ්ස් පිළිබඳව ඇති මිත්‍යා මතවලින් ඈත් වීමද ඉතා වැදගත් ය.

ඒඩ්ස් යනු මානව සමාජයක්ම පොළොවට පස් කර දැමිය හැකි වසංගතයක් බව අමතක නොකරන්න . ඒඩ්ස් ආසාදිතයෙකුට හුස්ම ගැනීමට පවා අමතක කරවන තරම් එය භයානක රෝගයක් ලෙස සමාජගත වී හමාරය . ලෝකය කෙතරම් දියුණුවූවත් මිනිසා බුද්ධිමත්වූවත් ඇතැම් අවස්ථාවල අප පරාජිත වූ මිනිස් කොට්ඨාසයක් වී හමාරය. මෙයද එවන් අවස්ථාවකි. ලෝකය දියුණුවූවත් ඒඩ්ස් සුව කිරීමට අවශ්‍ය ඖෂධ තවමත් සොයාගෙන නැත.

Table of contents

Read more

Local News