ලන්ඩනයේ ලාංකිකයෝ කම්කරු පක්‍ෂයට එරෙහිව වීදි බසි (ඡායාරූප)

Share

දෙසැම්බර් 12 වැනිදාට යෙදී තිබෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව විපක්‍ෂයේ කම්කරු පක්‍ෂ ඡායා කැබිනට්ටුවේ මුදල් අමාත්‍ය ජෝන් මැක්ඩොනල්ඩ් විසින් සිදුකරන ලද ශ්‍රී ලංකා විරෝධී අසත්‍ය ප්‍රකාශයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ පෙරේදා (04) සවස විරෝධතාවක නිරත වූහ.

 

අධික සීතලද නොතකා සතියේ රාජකාරි දිනක පැය කිහිපයක් නිවාඩු ලබාගෙන ලන්ඩනයේ කම්කරු පක්‍ෂ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිටට රැස්වූ එම පිරිස ජෝන් මැක්ඩොනල්ඩ්ගේ ප්‍රකාශයටත්, පසුගිය කාලවකවානුව පුරාවටම කම්කරු පක්‍ෂය ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩවම ගෙනගිය ක්‍රියාකාරකම්වලටත් එහිදී විරෝධය පෑමට කටයුතු කළහ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ කම්කරු පක්‍ෂ මැතිවරණ ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවට එරෙහිව කිසිවක් සඳහන්ව නොතිබුණද, එරට ලියාපදිංචිව තිබෙන කොටි හිතවාදී දෙමළ ඡන්ද විශාල ප්‍රමාණයක් කම්කරු පක්‍ෂය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දරන ලද කූඨ උපක්‍රමයක් ලෙස මෙම නිවේදනය සඳහන් කළ  හැකි බව විරෝධතාකරුවෝ කියා සිටියහ.

ජෝන් මැක්ඩොනල්ඩ් මහතාගේ ප්‍රකාශනය මේ වනවිටත් සමාජ මාධ්‍යවල ඉතාමත්ම වේගයෙන් සංසරණය වන අතර, ඒ සඳහා කොටි හිතවාදී දෙමළ මාධ්‍යද පුළුල් ප්‍රචාරයක් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇති බවත්, දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීම්, දරුණු වදහිංසාවලට භාජනය කිරීම්, විශාල ලෙස සමාජ අසාධාරණයන්ට ලක්කරමින් ඔවුන්ගෙන් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම් ඇතුළු සියලු කරුණු සොයා බැලීමටත්, ජාත්‍යන්තර පරීක්‍ෂණ සිදු කිරීමටත් එම වීඩියෝ පටයෙන් පොරොන්දු වන ජෝන් මැක්ඩොනල්ඩ්  ඔවුන් ජයග්‍රහණය කළහොත් අනාගතයේදී ශ්‍රී ලංකාව සමග සිදුකරන ආයෝජනරාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදීත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිදුකරන අසාධාරණකම් හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දැඩි අවධානයක් යොදවන බවද එහි සඳහන් කර තිබේ.

මීට අමතරව කම්කරු පක්‍ෂ නායක ජෙරම් කෝබීන්ද 1983 සිටම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ දැඩි ශ්‍රී ලංකා විරෝධී බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකි.

බ්‍රිතාන්‍ය‘යේ ශ්‍රී ලාංකික සංසදය මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, ඔවුන් ඒ සඳහා පොලිස් අවසරයද ලබාගෙන තිබිණි.

මීට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අටවාගෙන තිබෙන දෙමළ ජනතාව වෙනුවෙන් පෙනීසිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක, එසෙක්ස් ප්‍රාන්තයේ ඉල්ෆර්ඩ් උතුර මැතිවරණ කොට්ඨාසයේ කම්කරු පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෙස්ලි ස්ට්‍රීන් ද ප්‍රකාශයක් කරමින් එම ප්‍ර‘දේශයේ දෙමළ ජනතාවගේ ඡන්ද තමාට ලබාදෙන ලෙස පවසා ඇත.

ජෝන්ගේ නිවේදනයට ඉතාම සමාන එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තමා දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටි බවත්, ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාවට තමා විශේෂ දායකත්වයක් ලබාදුන් අතර, ඒ වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමටද සහභාගි වූ බවත්ය.

එම ප්‍රදේශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සංවිධාන වී ඔහුව පසුගිය ඉරිදා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ, එහිදී වරදක් සිදු වී ඇති නම් සමාව ලබාදෙන ලෙසත්, ඉදිරියේදී ප්‍රකාශ සිදු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන අතර, මැතිවරණයෙන් පසුව නැවත මුණගැසී සංවාදයක යෙදෙන බවටත් ඔහු පොරොන්දුවක් ලබා දී තිබේ.

Read more

Local News