මහමැතිවරණයෙන් පසු එජාපයට අලුත් නායකයෙක්

Share

එළැඹෙන මහමැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් පත්වනු ඇතැයි විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

 

මහනුවර දන්තුරේ ප්‍රදේශයේ ඊයේ(08) පස්වරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මේ රට ආරක්ෂා කරන සියලු දේශපාලන පක්ෂ සමඟ එකතු වී ගමන් යෑමට සුදානම් බවයි.

නමුත් ඒ දේශපාලන පක්ෂ එවැනි එකතු වී ගමනක් යනවා ද කියන දේ එම දේශපාලන පක්ෂ විසින්ම තීරණයක් ගත යුතු බවත් පැවසු මයන්ද දිසානායක මහතා, එක්සත් ජාතික පෙරමුණක් ලෙස සියලුම පක්ෂ එකතු කර ගනිමින් තරග කර ශක්තිමත් විපක්ෂයක් ලෙස සිටීමට කටයුතු කරන බවත් පැවසීය.

නායකත්වය වෙනස් විය හැකි බවත්, ඒ අනුව පක්ෂයේ අවශ්‍යතාවය අනුව එළඹෙන මහමැතිවරණයෙන් පසුව නව නායකත්වයක් පක්ෂය තුළ බිහිවෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියේය.

Read more

Local News