මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ කරයි

Share

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී මරණිය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගයක් මාර්තු මස 20 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

 

එම තීරණයට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (09) විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම කරුණට අදාළව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සියල්ල සලකා බැලීම මාර්තු මස 17,18 සහ 19 යන දිනවල සිදුකරන බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මාර්තු මස 20 වනදා දක්වා දීර්ඝ කරන බවද විනිසුරුමඩුල්ල සඳහන් කළේය.

එමෙන්ම අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන පුද්ගලයින්ගේ වෙනස්කම් සිදුවී තිබෙන හෙයින් ඒවා ද සංශෝධනය කර මීළඟ නඩු දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් මැයි මස ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය දා ප්‍රකාශයක් සිදු කළ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිවු දෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කරන බවට ප්‍රකාශ කළ බවයි.

මේ ආකාරයෙන් තෝරා ගත් සිරකරුවන් පිරිසක් පමණක් මරණීයට දණ්ඩනයට ලක් කිරීම තුළින් නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බව ද පෙත්සම්කරුවන් පෙන්වා දෙති.

එබැවින් මෙම ක්‍රියා කලාපය තුළින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔහු විසින් තෝරාගත් පිරිසකට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අහෝසි කිරීමේ ආඥාවක් නිකුත් කරන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව 12 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News