ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු දිවයිනට

Share

ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා අද(09) උදෑසන දිවයිනට පැමණ තිබේ.

 

ආචාර්ය මාක් මෝබියස් මහතා එක්වන ව්‍යාපාරික සමුළුවක් එළඹෙන හෙට(10) පැවැත්වීමට නියමිතය.

කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life  විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි.

ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන වෙළඳපොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු කළේය.

ඔහුගේ සේවා කාලය තුළ සමූහය කළමනාකරණ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඇමරිකානු ඩොලර් බිලියන 40 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන වෙළඳපල සහ දේශසීමා අරමුදල් ගණනාවක් දියත් කළේය.

2015 ට පෙර ඔහුගේ Templeton අරමුදල මෙරට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ කැපී පෙනෙන ආයෝජකයෙකු විය.

කෙසේ වෙතත් පසුගිය යහපාලන රජය සමයේ දී සිය ආයෝජන කල්පිරීම හේතුවෙන් ඒවා ඉවත් කර ගැනීමට ඔහු පියවර ගත්තේය.

එබැවින් ඔහු එක්වන මෙම ආයෝජක සමුළුව, ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් ලෙස විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව මෙරට වෙත යොමුකරවා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වනු ඇත.

මේ අතර 2019 නොවැම්බර් 20 දින සිට නොවැම්බර් 27 දින දක්වා සතියක කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැකුම්පත් හි විදෙස් ආයෝජන ප්‍රමාණය රුපියල් මිලියන 4,279 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් විය.

Read more

Local News