පාස්කු ප්‍රහාරය සිදුවන දිනය සහ වේලාව පවා ඉන්දියාව ලබාදුන්නා

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන දිනය සහ වේලාව පවා ඉන්දියාව විසින් ලබාදී තිබියදී මෙරට ආරක්ෂක අංශ සිදුකළ වරද වන්නේ ලැබී තිබුණු නිශ්චිත බුද්ධි තොරතුරු බරපතළ ලෙස භාර නොගෙන කටයුතු කිරීම බව ආරක්ෂක විෂය සම්බන්ධයෙන් ප්‍රවීනයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කර කරුණු වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් මහාචාර්යවරයා අද මේ බව සඳහන් කළේය.

ආරක්ෂක විෂය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා අද පස්වරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කර කරුණු වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණියේය.

එහිදී මහාචාර්යවරයා විසින් 2016 වසරේදී මෙරට පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් කොමිසමේ අවදානයට ලක් වූ අතර ඔහු එම සාකච්ඡාවේදී සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව තුළ අයි.එස්. සංවිධානයට සහාය දක්වන විශාල පිරිසක් සිටින බවයි.

එබැවින් එම අන්තවාදී පිරිස් කණ්ඩායමක් ලෙස සංවිධාන වී ප්‍රහාර එල්ල කරන තෙක් බලා නොසිට රජය ඒ සඳහා පියවර ගත යුතු බව මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා 2016 වසරේදී එම පුවත්පතට පවසා තිබුණි.

අද දිනයේදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ බුද්ධි අංශයක් සතු එකම කාර්යය භාරය වන්නේ තොරතුරු එක්රැස් කිරීම පමණක් නොව හඳුනා ගන්නා තර්ජනය වළක්වන මොහොත තෙක්ම ඒ සඳහා සක්‍රීයව කටයුතු කිරීම බවයි.

එහිදී ලෝකයේ සෙසු දියුණු රටවල් සමග සසදන විට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශය බොහෝ පිටුපසින් නොසිටින්නේදැයි කොමිසම මහාචාර්යවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ එය රඳා පවතින්නේ ආරක්ෂක අමාත්‍යාංශයට නායකත්වය ලබා දෙන්නේ කවුරුන්ද යන සාධකය මත බවයි.

යම් අවස්ථාවක බුද්ධි තොරතුරු මත කටයුතු කිරීමේදී අවදානමක් රැගෙන ක්‍රියාත්මක වීමට යම් අයෙක් ඉදිරිපත් විය යුතු බව මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා වැඩිදුරටත් කොමිසමට පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබුණේ යම් යම් තොරතුරු මිසක නිශ්චිත බුද්ධි තොරතුරු නොවන බව පළ වන අදහස් කිසිසේත්ම පිළිගැනීමට නොහැකි බව ද මහාචාර්යවරයා කොමිසමට සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ඉරු දින පැවති දේව මෙහෙයන් වහාම නවත්වා දැමීමටත් හෝටල්වල ආරක්ෂාව තරකර ගැනීමට පියවර ගන්නා ලෙස හෝටල්වල කළමනාකාරීත්වය දැනුවත් කිරීමටත් ප්‍රමාණවත් නිශ්චිත බුද්ධි තොරතුරු මෙරට බුද්ධි අංශ වෙත ලැබී තිබූ බවයි.

ප්‍රහාරය සිදුවන දිනය සහ වේලාව පවා ඉන්දීය බුද්ධි අංශ විසින් ලබාදී තිබියදී අප අතින් සිදුවූ වරදවන්නේ ලැබුණු බුද්ධි තොරතුරු බරපතල ලෙස භාර නොගෙන කටයුතු කිරීම බව මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

සිදුවීම් අධ්‍යයනය කරන විට පෙනී යන්නේ ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට රජය ජාතික ආරක්ෂාවට නිසි තැන ලබාදී කටයුතු කර නොමැති බවයැයි මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News