රේගුවේදි අත්අඩංගුවට ගත් මිලියන 100ක රන්බිස්කට් වලට සේවකයෙකුට දඩ

Share

රුපියල් මිලියන 100 වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළෙන් බැහැර කිරීම සමබන්ධයෙන් ගුවන්තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණක සේවකයෙකුට දඩ නියම කර ඇත.

 

අදාළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ද සීල් තැබීමට පියවර ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

මෙම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සේවකයා 36 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙළඳ සේවකයා විසින් මෙම රන් බිස්කට් තොගය විදුලි පංකාවක් බහාලන පෙට්ටියක තුළ සඟවා, තම සාප්පුව වෙත විදුලි උපකරණ මිලදී ගැනීමට පැමිණි ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙමින් සිටි ගුවන් මගියෙකු වෙත භාර දී තිබුණි.

මේ අතර කටුනායක ගුවන් තොටුපළ තුළ දී තමන් රැගෙන ආ භාණ්ඩ පමණක් ගෙන යාමට පියවර ගන්නා ලෙසත්, ගුවන් තොටුපළ තුළ තැරැව්කරුවන් සහ වෙනත් පිටස්තර පුද්ගලයින් ලබා දෙන භාණ්ඩ හෝ ගමන් මලු ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යෑමෙන් වලකින ලෙසත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

එසේම මෙම රුපියල් කෝටි 10 ක් වටිනා රන් බිස්කට් 99 ද රාජ සන්තක කිරීමට ද නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ  පීටර් ගුණවර්ධන මහතා නියෝග කර තිබේ.

මෙම රන් බිස්කට් තොගය 12/11 දින දහවල් 11.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 307 දරන ගුවන් යානයෙන් පැමිණි සිවිල් ඉංජිනේරුවරයාට ලබා දී තිබූ අතර, ඔහු ඒවා ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යමින් සිටියදී, ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Read more

Local News