එජාප නායකත්වයේ වෙනසක් විය යුතු නෑ – මයන්ත

Share

එක්සත් ජාතික පක්ෂය තුළ හදිසි නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

 

අද(13) සිරිකොත පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් පත් කළ කමිටුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්වීම කණගාටුවට කරුණක් බවයි.

පක්ෂ නායකත්වය හා එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ පර්ශවයේ සමාජික වන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා මන්ත්‍රීණී තලතා අතුකෝරාල මහත්මිය එම කමිටුවෙන් ඉල්ලා අස්ව තිබේ.

සය පුද්ගල එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ හා සජිත් ප්‍රේමදාස මහතාගේ පර්ශවයේ  මලික් සමරවික්‍රම,  යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුයි.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා එම කමිටුව පත් කරනු ලැබුවේ පක්ෂයේ ඇති අඩුපාඩු හදා ගැනීමට බවයි.

රංජිත් මද්දුමබණ්ඩාර හා තලතා අතුකෝරාළ යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්වීම ගැන තමා කණගාටුවට පත්වන බවත් පැවසු ඒ මහතා, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් යනු පුද්ගලයින් දෙදෙනෙකුට සීමා වු පක්ෂයක් නොවන බවත් පැවසීය.

ඒ නිසාවෙන් එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල හා රටේ වගකීම අනිවාර්යයෙන්ම ඉටු කරන බවත් මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය තුළ යම්කිසි වෙනස් වීමක් ඇති විය යුතු නමුත්, පක්ෂයේ සිටින කිසිවෙකු පක්ෂයෙන් ඉවත් කිරිමට හෝ නායකත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලක් කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදි පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා යනු ජ්‍යෙෂ්ඨ නායකයෙක් බවත්,  එතුමාව එක්වරම එළියට දාන වැඩපිළිවෙලක් පක්ෂය තුළ නොමැති බවත් මයන්ත දිසානායක මහතා කියා සිටියේය.

නායකයා එක්වරම වෙනස් කර අලුත් නායකත්වයක් තෝර ගැනීමේ අවශ්‍යතාවයක් තම පක්ෂයට නොමැති වුවත් ගම්මට්ටමේ හා බිම් මට්ටමේ දී පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි යන ඉල්ලීම ඇසෙන බවත් පැවසීය.

එයට කියන්නේ එක් පුද්ගලයෙක් වෙනස් වීම නොවන බවත් පැවසු ඒ මහතා සියලු නායකයින් එකතු වී පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සියලු දෙනා වැඩ කළ යුතු බව තම මතය බවද කියා සිටියේය.

Read more

Local News