මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Share

රට හදන සෞභාග්‍යය දැක්ම නව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල වන පරිදි තම සංවර්ධන කාර්යයන් යථාර්ථයක් බවට පත් කිරීමට උපරිම උත්සාහ දැරීම සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහ කාර්යය මණ්ඩලවල වගකීම බව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස මෙය සලකා එහි අන්තර්ගත අරමුණු සාක්ෂාත් කර ගැනීම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවයි.

මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පසුගිය දෙසැම්බර් පළමු සතියේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විද අරමුණ සාක්ෂාත් කරගැනීම මෙම ප්‍රතිත්ති ප්‍රකාශනයේ අරමුණ වී ඇති බවයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මෙන්ම සියලු රාජ්‍ය ආයතන මෙම ප්‍රතිපත්තියට අනුකූල වන සේ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කර තිබේ.

2020, 2025 කාල පරිච්ඡේය තුළ සර්ව ආර්ථික වැඩපිළිවෙල යටතේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6යි දශම පහක් හෝ ඉහළ මට්ටමක පවත්වාගෙන යාම සහ අමෙරිකානු ඩොලර් 6500 ඉක්මවූ ඒකපුද්ගල ආදායමක් ළඟා කර ගැනීම ප්‍රධාන කොට මෙම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කර ඇති බවයි වාර්තා වෙයි.

මෙම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ දස ප්‍රතිපදාවන්ගෙන් යුත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සබඳතා ඇතුළත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ද පියවර ගෙන තිබේ.

රැකියා විරහිත අනුපාතය සියයට 4ක අඩු මට්ටමක හා උද්ධමන වේගය සියයට 5ට අඩු මට්ටමක පවත්වාගෙන යාම මෙන්ම අයවැය හිගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ට වඩා අඩු අගයක පවත්වාගැනීම මෙමගින් අපේක්ෂා කෙරෙන බව සඳහන්ය.

නව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය මහ භාණ්ඩාගාරයේ වෙබ් අඩවියට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කර ඇති අතර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන එය තම ආයතනික වෙබ් අඩවිවල පල කරන ලෙස ද මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

Read more

Local News