වල්ලපට්ටා තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

Share

වල්ලපට්ටා කිලෝ 15 ½ සමග සැකකරුවෙකු ඊයේ (15) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන පතනහේන ප්‍රදේශයේ තම ගෙවත්තේ තිබු විශාල වල්ලපට්ටා ගසක් කපා ගස කොටස් වශයෙන් කැබලි කර ඉන් විශාල ප්‍රමාණයක් සැකකරු විසින් අලෙවි කර තවත් කිලෝ 15 ½ ක් අලෙවි කිරිමට සුදානම් කර තිබියදි නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක යු.එම්.ආර් උඩුගම මහතා වෙත ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් ලක්ෂපාන ප්‍රදේශයට ගොස් සැකකරු සහ වල්ලපට්ටා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් තම ගෙවත්තේම තිබු වල්ලපට්ටා ගසක් මෙසේ කපා කොටස් කර කොටසක් අලෙවි කර ඇති බවත්, ලක්ෂපාන ප්‍රදේශයේ පුද්ගලික ඉඩම් වල සහ අවට රක්ෂිත වල වල්ලපට්ටා ගස් විශාල වශයෙන් තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

වල්ලපට්ටා ගස් කැපිම නිතියෙන් තහනම් කර ඇති අතර නෝටන්බ්‍රිජ් පොලිස් වසමේ මෙවැනි අකාරයට අනවසරෙන් වල්ලපට්ටා ගස් කපා අලෙවි කිරිම ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන නෝටන්බ්‍රිජ් පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසුවේ.

Read more

Local News