එජාප නායකයා බලතල සංශෝධනය කරන්න රනිල්ගෙන් උපදෙස්

Share

එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේද ගණනාවක් ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බවට වාර්තා වේ.

 

එ.ජා.ප. ව්‍යවස්ථාවේ නායකත්වයට පැවරී තිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇතැයිද තොරතුරු වාර්තා වේ.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධුර කාලය ආදී සියලු ක‍්‍රියාපටිපාටියන්ට ඇතුළත් පක්‍ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාට ඊයේ (15දා) දැනුම්දී තිබේ.

එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගෙන පක්‍ෂ නායකත්වයට හිමිවන බලතල, වගකීම් සහ ධුර කාලය සංශෝධනය විය යුතු බවද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.

මීට අමතරව පක්‍ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාරයේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ තරුණ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සැලකිල්ලට ගන්නා ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා විසින් තිලක් මාරපන මහතාට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර විපක්‍ෂනායක ධුරයට අමතරව ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වයද සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුව තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුවේ නිර්දේශ සමග සජිත් පේ‍්‍රමදාස මහතාට මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වය දියයුතු බවට වන යෝජනාව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාට මේ සතියේදී නිල වශයෙන් දැනුම්දීමට නියමිතය.

මීට අමතරව එ.ජා.ප.යට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ගෙන පක්‍ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය පිළිබඳ අංගසම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමටද නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලක්‍ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාළ, මලික් සමරවික්‍රම සහ ආශු මාරසිංහ යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබූ අතර, රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාළ යන මහත්ම මහත්මීහු ඉන් ඉවත්වන බව පසුව නිවේදනය කර තිබිණි.

Read more

Local News