ශ්‍රීපාද මාර්ගයේ කිසිදු වෙළඳ සලක දුම්වැටි විකිණීම සපුරා තහනම්

Share

මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ කිසිදු වෙළඳ සලක දුම්වැටි, බීඩි, සුරුට්ටු, දුම්කොළ, පොලිතීන්, ප්ලාස්ටික් විකිණීම හා පරිහරණය සපුරා තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පැවසීය.

 

ශ්‍රීපාදස්ථානය පූජා භූමියක් හා පූජා නගරයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමග පරිසර හිතකාමී හා සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ග ගත් බව ගාමිණී පෙරේරා මහතා පවසයි.

මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධව නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයේ වෙළඳ ප්‍රජාව දැනුම්වත් කළ බවත් වෙළඳසල්වල අලෙවිය සඳහා තිබූ පොලිතීන්, ප්ලාස්ටික් හා  ආහාර දවටන සියල්ල මෙම මස (14) දා කරන ලද සෝදිසි මෙහෙයුමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගත් බවත් කීය.

නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පානීය ජල ප්‍රශ්නයක් පවතින නිසා මිලීලීටර් 1000 ප්ලාස්ටික් ජල බෝතල් පමණක් පරිසර  ආරක්ෂිත අයුරින් අලෙවිය හා පරිහරණයට අවසර දී ඇති බවත් පවසන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා මූලික අදියරක් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ කණ්ඩායමක් ශ්‍රීපාද වන්දනාව පුරා දෛනිකව නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ සීතගඟුල දක්වා මෙම පරීක්ෂා කිරීම් සිදු කරන බවත් පැවසීය.

ආහාර නිෂ්පාදන ස්ථාන, වෙළඳසල්, පරිහරණ ස්ථාන හා  පරිසරය මෙහිදී දැඩි පරීක්ෂාවකට ලක් කරන බව පවසන ගාමිණි පෙරේරා මහතා උපදෙස් පිළිනොපදින ව්‍යාපාරිකයින්ට එරෙහිව ආහාර පනතේ ස්වස්තතා නියෝග යටතේ නීති මගින් කටයුතු කරන පැවසීය.

ආහාර පනත යටතේ අලුතින් නිකුත් කර ඇති පරිශ්‍ර ලියාපදිංචි කිරීමේ නියෝග මත නල්ලතන්නිය නගරයේ පිහිටි සංචාරක නිවාඩු නිකේතන හා ආහාර පරිහරණ කරන  සියලුම ස්ථාන ලියාපදිංචි වියයුතු බවත්, ලියාපදිංචිය ලබා නොගන්නා වෙළඳසල් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, එම නීතිය 2020 ජනවාරි මස මුල සිට ක්‍රියාත්මක වන් බවත් ගාමිණී පෙරේරා මහතා පැවසීය.

නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ සියලුම  දුම්වැටි, දුම්කොළ හා මත්වතුර ප්‍රවර්ධනය කිරීම සඳහා වෙළඳසල් අභ්‍යන්තරයේ හා එම මාර්ගයේ ප්‍රදර්ශනය කර ඇති පුවරු සහ ස්ටිකර් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම සෝදිසි මෙහෙයුමේදී ඉවත් කළ බව ගාමිණී පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණයෙන්,  දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණි පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ සම්බන්ධීකරණයෙන් මෙම හදිසි සෝදිසි මෙහෙයුම සඳහා අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාණ්ත් ප්‍රේමසිරි මහතා ඇතුලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් සහභාගී වූහ.

Read more

Local News