සුදු වෑන් මාධ්‍ය හමුවට එක් වූ රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

Share

පසුගිය ජනාධිපතිවරණය සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සුදු වෑන් රථවලින් පුද්ගලයින් පැහැරගෙන යාම, මංකොල්ල කෑම් සිදු කිරීම හා පුද්ගලයින් වධහිංසාවට භාජනය කිරීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හෙළි කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් දෙදෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

 

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්  පසුගිය නොවැම්බර් මස 10 වනදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ මෙම සැකකරුවන් දෙදෙනා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ බවත් එම සුදුවෑන් කටයුතු මෙහෙයවීම එවක ජනාධිපති අපේක්ෂක වරයෙකු ලෙස ඉදිරිපත්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදු වූ බවටත් කරුණු අනාවරණය කර තිබූ බව සඳහන් කළේය.

මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි සංජීව පෙරේරා නැමැත්තෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් පරිදි විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ඊට අදාළ වීඩියෝ දර්ශන ලබාගෙන විමර්ශන සිදුකළ බව රහස් පොලිසිය සඳහන් කර සිටියි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රහස් පොලිසිය සඳහන් කර සිටියේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම සැකකරුවන් සිදුකල ප්‍රකාශ නිවරදි නොවන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවත්
ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලිම පිළිගත්ත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුවන් දෙදෙනා ලබන 27 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළාය.

බන්ධනාගාරය තුළදී තමන්ට විවිධ බලපෑම් එල්ල වීමට ඉඩකඩ පවතින හෙයින් එහි දී ආරක්ෂාවක් ලබා දීමට නියෝග කරන්නැයි සැකකරුවන් දෙදෙනාම විත්තිකූඩුවේ සිට මහෙස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බන්ධනාගාරය තුළදී සැකකරුවන්ට විශේෂ අවස්ථාව ලබාදීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරයාගේ අවධානයට යොමු කරන බවද සඳහන් කළාය.

Read more

Local News