නත්තල් දිනෙන් පසු උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Share

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ මස අගදී නිකුත් කෙරෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කළේ නත්තල් දිනෙන් පසු ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 5 වනදා සිට එම මස 31 වනදා දක්වා පැවැත්වුණු අතර විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37, 704 දෙනෙකු පෙනී සිටියේ.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද (26) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වේ.

ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම හා මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන අතර විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම, ඒවා ළඟතබා ගැනීම ද තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

අදාල නියෝග කඩ කරන පාර්ශවයන් සම්බන්ධයෙන් 1911 ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් මස 2 වනදා සිට 12 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 4987 කදී පැවැත්වීමට නියමිතයි.

Read more

Local News