19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යයි

62

නවසීලන්තයේ දී මේ මස 13 වැනිදා ආරම්භවන අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) නවසීලන්තය බලා පිටත්ව ගියේය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උපනායකයා ලෙස මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල්ට හිමිව තිබේ. මොවුන් දෙදෙනාම පසුගියවර පැවැති ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබීම විශේෂත්වයකි.

15 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයට ගාල්ල රිච්මන්ඩ්, ගාල්ල සාන්ත ඇලෝසියස්, මොරටුව සාන්ත සෙබස්තියන් සහ මහනුවර ත්‍රිත්ව යන විදුහල් වලින් ක්‍රීඩකයන් දෙදෙනකු බැගින්ද, මරදාන සාන්ත ජෝශප්, කොළඹ සාන්ත පීතර, ගල්කිස්ස සාන්ත තෝමස්, කඳාන ද මැසනෝද්, වෙන්නප්පුව ජෝශප් වාස් සහ මොරටුව මහ විද්‍යාලයෙන් ක්‍රීඩකයකු බැගින්ද ඇතුළත් වෙති.

රටවල් 16ක් කාණ්ඩ 4ක් යටතේ තරගවදින මෙහිදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකාව පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය සමගින් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය 14 වැනිදා අර්යලන්තය සමග පැවැත්වෙන අතර 17වැනිදා ඇෆ්ගනිස්තානය සමගත්, 19වැනිදා පාකිස්තානය සමගත් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රෝයි ඩයස් මහතා කටයුතු කරන අතර වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්, පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන සමගින් මහින්ද හලංගොඩ මහතා කළමනාකරු ලෙස සංචාරයට එක් වෙයි.

ශ්‍රී ලංකා 19න් පහළ පිල – කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක), ධනංජය ලක්ෂාන්, සන්තුෂ් ගුණතිලක, හසිත බෝයගොඩ, නවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, අශේන් බණ්ඩාර, කිෂාන් සංජුල, නිශාන් මදුසංක, ප්‍රවීන් ජයවික්‍රම, හරීන් බුද්දිල, තිසරු රශ්මික, කලණ පෙරේරා, නිපුන් මාලිංග