බැංකු නොවන මූල්‍යායතන මේ වසරේ සිට නියාමනය හා නිතී-රීති ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Share

බැංකු නොවන මූල්‍යායතන මේ වසරේ ජනවාරියේ සිට නියාමනය කිරීමට හා තදින් නිතී-රීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා පවසයි.

බැංකු නොවන මූල්‍ය ආයතන පනහක් පමණ ශ්‍රී ලංකාව තුළ පවතින බවත් මේ ආයතනවල ගනු-දෙනු සීමාසහිත බවත් ගනු-දෙනුවල විවිධත්වයක් නොමැති බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා මේ ආයතන ගනු-දෙනු එකතු කරනු ලබන්නේ වැඩි පොලියක් ලබාදීමෙන් බව ද කීවේය.

මහ බැංකු පරිශ්‍රෙය් දී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා මෙම මූල්‍ය ආයතනවල සියලු කරුණු සැලකිල්ලට ගෙන තදින්ම මෙම ආයතන නියාමනය කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

මෙම කටයුතු සඳහා දේශපාලනාධිකාරියේ කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ගනු-දෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය සඳහා මෙම වැඩපිළිවෙළ දියත් කරන බවත් හෙළි කළේය.

මේ මාසයේ සිට මෙම මූල්‍ය ආයතනවල තිබිය යුතු අවම ප්‍රාග්ධනය රුපියල් බිලියනයක් විය යුතු බවත් එසේ ප්‍රාග්ධනයක් පවත්වා නොගන්නා ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා 2020 වන විට මූල්‍ය ආයතනවල අවම ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.5ක් විය යුතු බව ද අවධාරණය කළේය.

එසේ සිදු නොකරණ මූල්‍ය සමාගම්වල ණය දීම සීමා කිරීම ඇතුළු තවත් පියවර ගැනීමට සිදුවන බවත් ශක්තිමත් වන්නට නොහැකි මූල්‍ය ආයතනවලට තවත් ආයෝජකයින් සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාවක් පවතින බව ද කුමාරස්වාමි මහතා කීවේය.

මේ පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා මහ බැංකුව මඟින් නව දෙපාර්තමේන්තුවක් බිහි කර ඇති අතර, එමඟින් දුර්වල පරිපාලනයක් පෙන්නුම් කරන ආයතන කල්තියා හඳුනාගෙන දැනුම් දෙන බවත් ඉන් පසුව මහ බැංකුව විසින් පාරිභෝගියන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බවත් පෙන්වා දුන්නේය.

Read more

Local News