ජාතික ආරක්ෂාව සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

Share

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා පැය 24ම ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

 

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසීය.

මෙම මෙහෙයුම් මැදිරිය වෙත පාතාල කල්ලි සාමාජිකයින්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, කප්පම්කරුවන්, නීතිවිරෝධී අවි භාවිත කරන්නන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් කරන්නන් සහ පාරිසරික වැරදි ඇතුළු වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව පවතියි.

ඒ අනුව 011 2 580 518, 011 2 058 552 යන දුරකතන අංකවලට සහ 011 2 588 499 යන ෆැක්ස් අංකයට අදාල තොරතුරු ලබා දීමේ හැකියාව පවතින බව සඳහන්.

විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයින්ගේ අනන්‍යතාව හෙළි නොකරන අතර ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු වන අයුරින් කටයුතු කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසුවේ.

මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත ලැබෙන නිවැරදි තොරතුරු දිවයින පුරා ස්ථාපිත විශේෂ කාර්ය බලකා කඳවුරු වෙත කඩිනමින් යොමු කර විමර්ශන කටයුතු සිදු කෙරෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News