යුද්ධය මෙන්ම සාමයයේදී ද ත්‍රිවිධ හමුදාවට විශාල කාර්යය භාරයක් පැවරෙනවා

Share

යුද්ධය පවතින අවස්ථාවල මෙන්ම සාමය පවතින අවස්ථාවලද ත්‍රිවිධ හමුදාවට විශාල කාර්යය භාරයක් පැවරෙන්නේ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (17) ගුවන් හමුදා නිළධාරීන් අධිකාරියට පත්කිරීමේ හා පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාවන් හැදෑරූ ගුවන් නියමුවන්ට පියාසර ලාංඡන පැළැඳවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය චීන වරායේ පැවැති උත්සවය අමතමිණි.

ගංවතුර වැනි ආපදා අවස්ථාවලදී ගුවන් හමුදාව කරන මානුෂීය මෙහෙවර විශේෂයෙන් අගය කළ යුතුව ඇති අතර එවැනි අවස්ථාවල ගුවන් හමුදාව කරන කාර්යයභාරය කිසිවෙකුට කළ නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම රටේ වෙරළ තීරය ආරක්ෂා කිරීම, මුහුදු සීමාවට ඇතුල්වන විදේශීය යාත්‍රා සම්බන්ධයෙන් විමසිලිමත්වීම මෙන්ම කැලෑ කපා නොයෙකුත් අනවසර දේ වගාකිරීම් ආදිය සම්බන්ධයෙන් සොයා බැලීමටද ගුවන් හමුදාවේ සහාය හිමිවන බව අග්‍රාමාත්‍යවරය අවධාරණය කළේය.

ගුවන් ප්‍රහාරක හැකියාව තිබුණු ලොව එකම ත්‍රස්තවාදී කණ්ඩායම වූ එල්.ටී.ටී.ඊ ය ලොව භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස නම්කර තිබියදීත් පරාජය කිරීමට හැකි වූ බවද සිහිපත් කළ අගමැතිවරයා ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුවිශේෂී දායකත්වයක් දැක්වූ බවද කීවේය.

මේ නිසාම ගුවනින් කරන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් කිසිදු හමුදාවකට නැති අත්දැකීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සුරකිමු ලකඹර පාඨය තේමා කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන සුරකිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක්වීමට කෙඩෙට් නිලධාරී පාඨමාලාවන් හැදෑරූ කෙඩෙට් නිලධාරින් හා නිළධාරිණියන් අධීකාරියට පත්කිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

Read more

Local News