සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්

Share

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට පියවර ගෙන ඇත.

 

මේ සදහා සංචාරක අමත්‍යංශය , සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම යන ආයතනයන් වල ඉහළ නිළධාරින් ඇතුලත් වන බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරට සංචාරක ව්‍යාපාරය මුහුණපා ඇති ගැටළු හදුනාගෙන ඒ සදහා විසදුම් සැකසීම හා එම යෝජනා ක්‍රියාත්මක කිරීම මෙම බලකායට පැවරේ. සති 02ක් තුල මේ සදහා වන වැඩ පිළිවෙල තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මෙම කාර්ය සාධන බලකායට උපදෙස් දුන් බවද රණතුංග මහතා කියයි.

සංචාරකයන් ශ්‍රී ලංකාව කෙරෙහි  ආකර්ෂණය වන ස්වාභාවික සෞන්දර්යට අමතරව සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගත් නව ක්ෂේත්‍ර හදුනා ගැනීමද මෙම කාර්ය සාධන බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් බවද ඇමතිවරයා කීවේය.

විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන, ආගමික, සංස්කෘතික හා ජාතික උරුමයන්, ත්‍රාසජනක ක්‍රීඩා, කෘෂිකාර්මික හා වනාන්තර ආශ්‍රිත සංචාරක කර්මාන්ත, දේශීය ආයුර්වේදය ආදී ක්ෂේත්‍ර මුල් කරගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අදාල යෝජනා හා වැඩ පිළිවෙල ඉදිරිපත් කරන ලෙස මෙම කාර්ය සාධන බලකායට උපදෙස් දී ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

රටේ ප්‍රධාන සංචාරක නගර යාවෙන මාර්ග පද්ධති ආශ්‍රිතව සංචාරක සේවා මධ්‍යස්ථාන පිහිටු වීම, සනීපාරාක්ෂක පහසුකම්, අවන්හල් ඇතුලු සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ජත්‍යන්තර ප්‍රම්තීන්ට අනුව සැකසීම කෙරෙහි රජයේ අවධානය යොමු කර තිබේ.

එමෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ලෝකයේ විවිධ රටවල පුළුල් ප්‍රචාරයක් ලබා දීම සදහා උපාය මාර්ගික ප්‍රචාරක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද රණතුංග මහතා කිවේය.

2030 වසර වන විට මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය මිලියන 07 දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි.

2030 දී සංචාරක කර්මාන්තයේ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් ජාතික ආර්ථිකයට එක් කීරීමට ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තීමය වැඩසටහනේද ඇතුලත් වු පොරොන්දුවකි.

එය යථාර්තයක් බවට පත් කිරීම සදහා මෙම කාර්ය සාධන බලකාය පත්කල බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

Read more

Local News