හිටපු ඇමති ෆවුසිගේ පෙත්සමක් මාර්තු මස විභාගයට

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා ඉදිරිපත් කළ පෙත්සමක් මාර්තු මස 23 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

එම පෙත්සම අද (20) විජිත් මළල්ගොඩ, එස්. තුරේයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල පෙත්සමේ වග උත්තරකාර පාර්ශවයට නියම කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඉන් අනතුරුව පෙත්සම මාර්තු මස 23 වන දා විභාගයට ගන්නා බව ද විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එම පක්ෂ විනය කමිටුව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාවේ සභාපති හා සාමාජිකයින් ඇතුළු 14 දෙනෙකු නම් කර සිටිති.

පෙත්සම්කාර ෆවුසි මහතා කියා සිටින්නේ තමා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව මගින් තම මන්ත්‍රීධූරය අහෝසි කිරීමට කටයුතු කළ බව මාධ්‍ය වලින් දැන ගත් බවයි.

මේ පිළිබඳව තමන්ට එම පක්ෂයෙන් වෙන දැනුම්දීමක් නොකෙරුණු බවද ඔහු සඳහන් කළේය.

කිසිදු විනය පරික්ෂණයක් නොපවත්වා තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීති විරෝධී බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News