දැව සංස්ථාවේ හිටපු සභාපති ගොනු කළ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

Share

තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා අල්ලස් චෝදනාවකට වරදකරු වී සිරදඩුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය ගොනු කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අල්ලස් කොමිසමට කල් ලබා දී තිබේ.

 

අදාල ඇප ඉල්ලීම අද (21) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ තම සේවාදායකයාට නියම වී ඇති සිර දඬුවමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් තම සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා අධිරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්ය.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා පෙබරවාරි මස 03 වනදා සහ ඊට එරෙහි  ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා පෙබරවාරි මස 10 වනදාට පෙර ගොනුකරන ලෙසයි විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇත්තේ.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ විභාගය පෙබරවාරි මස 17 වනදා සිදුකරන බව  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

කපසුගිය රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේදී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරාදීමේ කටයුතු ඉටුකිරීමට රුපියල් කෝටි 2 ක මුදලක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පියදාස දිසානායකට එරෙහිව බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 ක දඩයක් නියම කළේය.

Read more

Local News