Tuesday, March 19, 2024.

වී කිලෝවකට රුපියල් 50 ක අවම සහතික මිලක් දීමට අනුමැතිය

Share

ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් සඳහා රුපියල් 50 ක අවම සහතික මිලක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

2019/20 මහ කන්නයේ වී මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහනක් මෙලෙස දියත් කරනු ලබයි.

මහකන්නයේ අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර වී මෙට්‍රික් ටොන් මිලියන 3 ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

ප්‍රතිපත්තියක් ලෙස රජය විසින් සහල් ආනයනය නොකිරීම හේතුවෙන් සහල් මිල තරමක් ඉහළ ගොස් ඇති බවද රජය පවසයි.

නමුත් මෙම වැඩසටහන මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වන බවත් රජය පෙන්වා දෙයි.

එම තත්ත්වය විනිමය අනුපාතය ස්ථාවර වීමට මෙන්ම පොලී අනුපාතය අඩු විමට ද බලපෑමක් සිදු කර ඇත.

ඒ අනුව වී මිල ස්ථාවරව පවත්වා ගෙන යෑමට හා සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ සහල් මෝල හිමියන් පෙලඹවීමේ අරමුණින් 2019/20 මහ කන්නයේ අතිරික්ක වී තොග මිල දී ගැනීම සඳහා රජය මැතිහත් විය යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව පහත සහන හිමි වනු ඇත.

තෙතමනය සහිත වී කිලෝවක අවම සහතික මිල රුපියල් 45 ක් වශයෙන් නිම කිරීම.

රජය වී මිල දී ගැනීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිසාපතිවරුන් සහ වී අලෙවි මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරීම.

ත්‍රිවිධ හමුදාව, බන්ධානාගාර දෙපාර්තමේන්තුව, රෝහල් ඇතුළු රජයේ ආයතනවල සහල් අවශ්‍යතා සඳහා ඍජුවම එම ආයතන මඟින් වී මිල දී ගැනීම.

මිල දී ගනු ලබන වී තොග ගබඩා කිරීම සඳහා ආහාර කොමසාරිස්වරයා සතු සියලු ගබඩා, වී අලෙවි මණ්ඩලය සහ දිස්ත්‍රික් ලේකම්වරුන් / දිසාපතිවරුන් වෙත වහාම පවරා දීම.

වී තොග ප්‍රවාහන කටයුතු කිරීම සඳහා රජයේ ආයතන සතු ලොරි සහ ට්‍රක් රථ යොදා ගැනීම.

සහතික මිල යටතේ වී මිල දී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු වී මිල දී ගනු ලබන්නන්ට සියයට 8 ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් බිලියන 100 ක පමණ ඔඩපන ණය රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා නිකුත් කිරීම.

ප්‍රධාන සහල් නිෂ්පාදන දිස්ත්‍රික්ක වන පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව, අම්පාර, මඩකලපුව, මොනරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මෙහෙය වීමේ වගකීම රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් වෙත පැවරීම.

ඉහත වැඩසහන නොපමාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කිරීම.

Read more

Local News