සිසුන් 40000කට මෘදුකාංග ඉංජිනේරු උපාධියක්

Share

ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් පාසල්වල මහින්දෝදය විද්‍යාගාර කේන්ද්‍රකර ගනිමින් තොරතුරු තාක්ෂණය පිළිබඳව ඉංජිනේරු උපාධියක් හඳුන්වාදීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

එම විශ්වවිද්‍යාලයේ පසුගියදා කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලබාගැනීමට නොහැකිවු සිසුන් 40,000ක් සඳහා මෙම උපාධිය ලබා දීමට පියවර ගන්නා බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“රටේ විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ විද්‍යාර්ථීන්ගේ ඉල්ලීමක් තිබුණ ත් විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව මෙම වසරේ ආරම්භ නොකිරීම පිළිබඳ අපට පැමිණිලි, මැසිවිලි ආවා.

මෙහි සත්‍ය තත්ත්වය සොයා බලන්නට ත් විවෘත විශ්වවිද්‍යාලයේ පවතින තවත් ගැටලු පිළිබඳ සොයා බැලීමට ත් නව උපාධි පාඨමාලා ආරම්භ කිරීම සහ විවෘත විශ්වවිද්‍යාලය සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට ඇති හැකියාව සොයා බැලීමට ත් මම ත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාත් පැමිණියා.

එහිදී අපි විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සහ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඒ අනුව 2020 නීතිවේදී උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු මස 01වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.

ඒ අනුව අයදුම්පත් නිසි පරිදි කැඳවා ඉදිරි කටයුතු කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කරනවා. ඒ අනුව මේ වර්ෂයේ මැද වන විට නව සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු  කරන්නට තීරණය කළා.

එමෙන් ම රට වටා තිබෙන මහින්දෝදය විද්‍යාගාර 1000 උපායෝගී කර ගනිමින් විවෘත විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ කරමින් “මෘදුකාංග ඉංජිනේරු උපාධිය Software Engineering ” හැදෑරීම සඳහා ළමුන් 40 000ක් සඳහා අධ්‍යයන අවකාශ සලසා දීමට අපි කටයුතු කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව උසස් පෙළ සමත්වන සියලු ම සිසුන්ට විශ්වවිද්‍යාල උපාධියක් දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාකර දීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මේ මඟින් විශාල සහයෝගයක් ලැබෙනවා.  යනුවෙන් ද පැවසීය.

ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා මේ වසරට අදාළව අයඳුම්පත් කැඳවීම මාර්තු මස පළමුවනදා සිට ආරම්භ කිරීමට ද තීරණය කර තිබේ.

Read more

Local News