අනුමැතිය දී ඇති සුර්ය බල ව්‍යාපෘති කඩිනමින් අරඹන්න උපදෙස්

Share

මෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන සූර්ය බළ ව්‍යාපෘති 14කට විදුලිබල අමාත්‍යංශය විසින් අනුමැතිය ලබා දී තිබෙන බැවින්, එහි වැඩ කටයුතු කඩිනමින්  ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 

ජාතික විදුලි පද්ධතියට විදුලි බලය එකතු කිරීමේ දී සමස්ත පද්ධතිය බිඳ නොවැටී පවත්වාගෙන යාමට නම් විදුලිය ජනනය කළ හැකි සෑම අංශයකම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය.

ජලවිදුලිය, ගල් අගුරු බලාගාර, ගැස් බලාගාර, සුර්ය බලශක්තිය, මුහුදු රළ විදුලිය උත්පාදනය කිරීම මෙන්ම සුළං බල විදුලි බලාගාර ද ඉදි කිරීමට පියවර ගත යුතුව තිබේ. එමනිසා විදුලිය නිෂ්පාදනය කළ හැකි සෑම අංශයක්ම කෙරෙහි අවධානය යොමු කරන්නැයි අමාත්‍යවරයා  සඳහන් කළේය.

ගල් අගුරු බලාගාර හා ඉන්ධන යොදාගෙන සිදු කෙරෙන විදුලිබල ව්‍යාපාති සම්බන්ධව විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කර තිබෙන විරෝධතා සැළකිල්ලට ගන්නා ලෙසත්, ඒ සම්බන්ධව අදාල පාර්ශ්ව සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට තමන් බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගිය සිකුරාදා 24  පස්වරුවේ විදුලිබල ශක්තිය පිලිබඳව පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ සම්බන්ධව අදහස් පළ කළ අතර, රජය ගල් අගුරු හා LNG බලාගාරවලට දෙන ප්‍රමුඛත්වය පුනර්ජනනීය බලශක්තියට නොදෙන බවට මතයක් ඇතැම් අය තුළ පවතින බව කීය.

එහෙත් විශාල වශයෙන් විදුලිය නිපදවිය හැකි කෙටිකාලීන අංශ කෙරෙහි රජය අවධානය යොමු කරන අතර මෙම වසර තුළ සූර්ය බල ව්‍යාපෘති 14කින් මෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ප්‍රධාන පද්ධතියට එක් කිරීම සඳහා අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දි ඇතැයි ද කීය.

2017 වසරට වඩා 2018 වසරේ වහල මත සවිකරන සුර්ය බල කට්ටල Rooftop Solar Power panel  භාවිතය සියයට 51කින් ඉහළ ගොස් තිබේ.

ඒ  අන්දමින් නිවෙස්වල වහල මත සුර්ය බල උත්පාදන කට්ටල සවි කිරීම කිසිසේත්ම අඩු නොකරණ ලෙසත් , සුර්ය බල ශක්තිය යොදා ගනිමින් සිදුකරන විදුලිය උත්පාදන ව්‍යාපෘති රටට ඉතාමත් හිතකර හා වැඩදායක බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ජනාධිපතිතුමාගේ ඉළක්කය 2030 වනවිට ශ්‍රි ලංකාව හරිත බළශක්තිය භාවිතා කරන රටක් බවට පත් කිරීම වන බැවින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි වසර තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබන මට්ටමට පත් කිරීමට නම් අනිවාර්යෙන්ම නව විදුලි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත්, විදුලි බිල දැනටත් වඩා මහජනතාවට අඩුවෙන් ලබා දීමට නම් ජාතික විදුලි නිෂ්පාදනය හැම ක්‍රමයකින්ම ඉහළ නැංවීම රජයේ බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.

Read more

Local News