චීන ජාතිකයින්ට කටුනායකින් වීසා ලබාදීම නතර කරයි

Share

චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබාදීම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාවකට නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ මඟින් ඒ බව තහවුරු වූ බවයි.

43න් හැවිරිදි අදාළ කාන්තාව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරට සංචාරයක් සඳහා පසුගිය 19 වන දින මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඇය මේ වන විට ජාතික බෝවන රෝග ආයතනයේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය වැලදී ඇති බවට හදුනාගත් මෙම චීන ජාතික කාන්තාව විදෙස් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර එම චීන ජාතික කාන්තාව සමඟ මෙරටට පැමිණි සෙසු චීන ජාතිකයින් පිළිබඳව සහ එම කාන්තාව සංචාරය කළ ස්ථාන පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබා දීම නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා වෛරසය වැළඳී ඇති රෝගීන් හඳුනා ගැනීම සම්බන්ධයෙන්  ගුවන්තොටුපළ පරිශයේ සිදු කෙරණ පරීක්ෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ රාත්‍රීයේ පැමිණි අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.

ඇය පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය හමුවේ නැවත දැනුම්දෙන තුරු මෙම තීරණය වලංගු බවයි.

Read more

Local News