රජය සයිටම් ආයතනය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගනියි

Share

රජය සයිටම් South Asia Institue of Technology and Medicine) ආයතනය අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

“රජය, සයිටම් ආයතනය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගනියි.

2017 ඔක්තෝබර් 29 වනදා ජනාධිපතිතුමා විසින් සයිටම් ගැටලුව විසඳීම සඳහා නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු ඉටුකිරීමට 09 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කළ අතර සයිටම් ගැටලුව නිරාකරණය කිරීමට එම නිවේදනයෙන් පහත විසඳුම ඉදිරිපත් කරන ලදී. වර්තමාන කොටස්කරුවන්, ණයදෙන ආයතන, සයිටම් ආයතනයේ සියලුම මෙහෙයුම් කටයුතු සහ කළමනාකාරීත්වය ලබාගැනීමට කැමැත්ත දක්වා තිබෙන නව ආයතනය නීත්‍යාණුකූලව පිළිගන්නා පරිදි සයිටම් ආයතනය අහෝසි කර එහි සියලුවත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් ඇති කිරීමට නියමිත අවම ප්‍රමිතීන්ට අනුකූලව (කැබිනට් අනුමැතිය හිමිව ඇත) ස්ථාපිත කරන උපාධි ප්‍රදානය කරන යෝජිත රාජ්‍ය නොවන සහ ලාභ නොලබන (වියදම ඉක්මවන අතිරික්ත ආදායමක් ලැබෙන විට එය කොටස්කරුවන් අතර නොබෙදා ආයතනයේ සංවර්ධන කටයුතු හෝ පර්යේෂණ කටයුතු හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවන) ආයතනයකට පැවරීම. නීත්‍යානුකූලව මෙම විසඳුම ලබාදීම සඳහා එකිනෙකින් වෙන්වූ ආයතන දෙකක් ඇතිකළ යුතු අතර මෙම ආයතන දෙකම වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය. එම ආයතන දෙක පහත පරිදි වේ.

අ.) සයිටම් ආයතනයේ හිටපු සියලුම වෛද්‍ය සිසුන් බඳවාගනිමින් සහ සයිටම් ආයතනයේ සියළුම වත්කම් සහ වගකීම් පවරා ගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරන ලාභ නොලබන නව ආයතනය. සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධිය ලබාගත් පසුව මෙම ආයතනයේ මෙහෙයුම් කටයුතු අවසන් කරන අතර මෙම ආයතනය සඳහා අලුතින් සිසුන් බඳවා නොගනී.

ආ.) 2019 වසරේ සිට සිසුන් බඳවාගැනීම සඳහා පිහිටුවන ලාභ නොලබන නව ආයතනය.
2017 දෙසැම්බර් 30 වනදා රජය සයිටම් ආයතනය සහ මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන, ලාභ නොලබන උපාධි ප්‍රදානය කරන ආයතනයක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.  මෙම අවබෝධතා ගිවිසුමට අනුව සයිටම් ආයතනය අහෝසි වෙමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යෝජිත නව ආයතන දෙක ආරම්භ කරන අතර ඒ සඳහා රජයේ මාර්ගෝපදේශනය හිමිවේ. නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව මෙම අවබෝධතා ගිවිසුම නීත්‍යාණුකූල ගිවිසුමක් බවට පත්වේ.

සයිටම් ආයතනයට එරෙහිව නැගුණු විරෝධතාවයන්හිදී ඉදිරිපත්වූ ප්‍රධානතම ගැටලු සඳහා මෙම විසඳුම මගින් පැහැදිලි පිළිතුරක් ලැබෙනු ඇත.

1.වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ ප්‍රමිතිය සයිටම් ආයතනයේ නොමැති යැයි ඉදිරිපත්වූ ගැටලුව.

2.සයිටම් ආයතනය සතු ලාභ ලැබීමේ චේතනාව අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වයට බාධාවක් යැයි ඉදිරිපත් වූ ගැටලුව.

1.ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ජාතික ප්‍රමිතීන් ඇතිකර පවත්වාගෙන යන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් දැඩි අවම ප්‍රමිතීන් මාලාවක් යෝජනා කළ අතර 2017 දෙසැම්බර් 13 වනදා කැබිනට් මණ්ඩලය විසින් එය සුළු සංශෝධන සහිතව අනුමත කරන ලදී. මෙමගින් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් ඉහළ ප්‍රමිතියක් ඇති කිරීමට සමත්ව තිබේ.

අ.) අනුව, සයිටම් ආයතනයේ සියළුම වර්තමාන සිසුන් බඳවාගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරන ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව මෙම අවම ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කරනු ඇත. එසේම, සයිටම් ආයතනයෙන් උපාධිය ලබාගත් සිසුන්ට මෙම ප්‍රමිතියට අනුගතවීම සහ ලියාපදිංචිය ලබාගැනිම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තවත් ක්‍රියාමාර්ග (සායනික පුහුණුව සහ රජයේ රෝහල් වලදී ඇගයීම් කටයුතු) ඉදිරිපත් කරනු ඇත.

ආ.) 2019 වසරේ සිට සිසුන් බඳවාගැනීම සඳහා පිහිටුවන ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අලුතින් අනුමැතිය ලබාගත යුතු අතර මේ සඳහා මෙම ආයතනය අවම ප්‍රමිතීන් සපුරාලිය යුතුවේ.

2. මෙම ආයතන දෙකම මෙහෙයුම් කටයුතු කරන්නේ ලාභ පදනම් කරගෙන නොවේ. මෙහිදී, 2019 වසරේ සිට සිසුන් බඳවාගැනීම සඳහා පිහිටුවන ආයතනය “ඇපයෙන් සීමිත සමාගමක්“ වන අතර මෙහිදී සිසුන්ගෙන් ගාස්තුවක් අය කළද අතිරික්ත ආදායමක් තිබේ නම් එය ආයතනයේ සංවර්ධන කටයුතු, පර්යේෂණ කටයුතු සහ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවනු ලබයි. මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සුදුසුම පාර්ශවකරුවෙකු වන අතර ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සිසුන්ට උසස් අධ්‍යාපනය ලබාදීමේ දශක දෙකක පමණ අත්දැකීම මෙම ආයතනය සතුවේ.

මේ අනුව, මෙම ප්‍රායෝගික සහ සාධාරණ විසඳුම මගින් සයිටම් ආයතනයට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රධාන ගැටලු දෙක සඳහාම විසඳුමක් ලැබෙනු ඇත.

මීට අමතරව, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පැවරෙන අතර මේ තුළින් රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 3.2 ක් පමණ වටිනා වත්කමක්  රජයට බරක් නොමැතිව අලුතින් එකතු වෙනු ඇත.

මෙම විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයින් 09 දෙනාම ඒකමතිකව මෙම විසඳුම සඳහා කැමැත්ත පළකර තිබේ. මෙම කමිටුවේ සභාපති ධූරය ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් දැරූ අතර සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා, කොළඹ විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල උප කුළපතිවරුන්, කොළඹ සහ කැළණිය වෛද්‍ය පීඨයන්හි වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් මෙම කමිටුවට ඇතුළත් වේ. මෙම විසඳුම පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට මෙම කමිටුව අවස්ථා තුනකදී රැස්වූ අතර මෙම සාකච්ඡා සඳහා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA), වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගම් සම්මේලනය, රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුන්ගේ දෙමව්පිය සංගමය සහ සයිටම් වෛද්‍ය සිසුන්ගේ දෙමව්පිය සංගමය නිරීක්ෂකයින් ලෙස සහභාගී විය.

මෙම විසඳුම මගින් ශ්‍රී ලාංකිකයින්  ජයග්‍රාහකයින් කරන අතර පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙම විසඳුමට එරෙහි වෙමින් අපගේ දරුවන්ගේ අනාගතය අඳුරට හෙළීමට කිසිවෙකුත් කටයුතු නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්”

Read more

Local News