කැලණිවැලි විදුලි දුම්රිය ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු අරඹන්න උපදෙස්

Share

කැලණිවැලි විදුලි දුම්රිය ව්‍යාපෘතිය ප්‍රමාද නොකර ඉදි කිරීම් කටයුතු අරඹන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය බලධාරින්ට උපදෙස් දෙයි.

 

නවීකරණය කෙරෙන කැළණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය හෙවත් කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ  Colombo Suburban Railway Project ඉදිකිරීම් කටයුතු ප්‍රමාද නොකර අරඹන්නැයි ප්‍රවාහණ කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (28) දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඩොලර් 1500ක වියදමින් ඉදි කෙරෙන නව කැළනි වැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා දිවෙන අතර එම දුම්රිය මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා කිලෝමීටර් 22ක දුරක් ගමන් කරන්නේ භූමි මට්ටමින් අඩි 18ක් පමණ උස් කුළුනු මතින්  දිවෙන දුම්රිය මාර්ගයකය.

මාලපල්ල සිට මරදාන දක්වා කොටසේ එම දුම්රිය ගමන් කරනුයේ විදුලිබලයෙනි.

විශේෂයෙන්ම කොලඹ හා තදාසන්න නගරවල පවතින මාර්ග තදබදය අවම කරලීමට විකල්ප ප්‍රවාහන වැඩ පිළිවෙළක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය තුළින් අපේක්සිත අරමුණු ඉටු කර ගැනීමට නම් එම ව්‍යාපෘතිය හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු යැයිද අමාත්‍යවරයා කීය.

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය  සම්බන්ධව අද දින (28) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී විශේෂ සම්මන්ත්‍රණයක් KV line and Main development Consultation Seminar පැවැති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිනි.

කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදය නිසා මේ වනවිට වාහන ධාවන වේගය පැයට කිලෝ මීටර් 7-8 දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන හා මාර්ගවල  ධාවනය කෙරෙන වාහන සංඛ්‍යාව සියයට 10කින් ඉහළ ගියද, මාර්ග පුළුල්වීම සිදුවී ඇත්තේ සියයට තුනකිනි.

මෙම තත්ත්වය නිසා ඉදිරි වසර කිහිපය තුළ කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව රථවාහන වේගය පැයට කිලෝමීටර් 05 දක්වා අවම වෙතැයි ප්‍රවාහණ සේවා පිලිබඳ විශේෂඥයින්ගේ මතය වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර දුම්රිය මාර්ග සංවර්ධනය උදෙසා 2023 දක්වා වූ මාර්ග සංවර්ධන සැලැස්මක් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබේ. ඒ අනුව පොල්ගහවෙල- කුරුණෑගල ද්විත්ව දුම්රිය මාර්ගය, පයාගල සිට අලුත්ගම දක්වා ද්විත්ව දුම්රිය මාර්ගය, කුරුණෑගල- හබරණ දක්වා දුම්රිය මාර්ගය, මහව සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය, මෙන්ම කුරුණෑගල සිට මහව දක්වා ද්විත්ම මාර්ගය ද වශයෙන් විශාල දුම්රිය සංවර්ධන ව්‍යාපෘති රුසක් සැළසුම් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ද ලැබී තිබේ.

කෙසේ වුවද, ඉදිරි කාලය තුළ ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් සිදු කිරීම යළිත් ඇරඹීටත්, එමගින් බව්සර් නිසා ඇතිවන තදබදය අවම කිරීම හා කන්ටේනර් වෙනුවට දුම්රිය උපයෝගි කරගෙන බඩු ප්‍රවාහණයටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහණ රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක, අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න , දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

Read more

Local News