ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පරමාර්ථය විය යුත්තේ සිසු සිසුවියන් සඳහා විද්‍යා තාක්ෂණ දැනුම ලබාදීමයි

Share

අරලියගහ මන්දිරයේ පැවැති කුඩා පාසල් තුන්දහසක් සඳහා ජංගම විද්‍යාගාර කට්ටල ලබාදීම පිළිබඳව දැනුවත් කිරීමේ විදුහල්පති වැඩමුළුවට ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) එක්විය. එහිදී අගමැතිවරයා සඳහන් කළේ,

දියුණු රටවල පාසල්වල සෑම සිසු සිසුවියක්ම විද්‍යාව පිළිබදව මූලික දැනුමක් ලබා ගන්නා බවත් විද්‍යා විෂය එම රටවල සෑම පාසලකට උගන්වන නමුත් ලංකාවේ පවතින්නේ ඊට වඩා වෙනස් තත්වයක් බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ද්විතීය පාසල්වලත් විද්‍යා විෂය ඉගැන්වීමේ පියවරක් ලෙස විද්‍යා උපකරණ පාසල් 3000 ක් සඳහා ලබාදෙන බව සඳහන් කළ අගමැතිවරයා මේ යටතේ විද්‍යා විෂය ඉගැන්වෙන පාසල් ගණන වර්ධනය වන බව ද සඳහන කළේය.

විද්‍යා ගුරු පුහුණු කිරීම ආරම්භ කර තිබෙන අතර මෙම වසර අවසන් වන විට සෑම උසස් පෙළ සිසු සිසුවියකටම ටැබ් යන්ත්‍ර‍යක් ලැබෙන බවත් දකුණු ආසියා රටවල වෙනත් පාසල්වල මෙතරම් විද්‍යාව පදනම් කරගත් උනන්දුවක් තිබෙනවා යැයි තමා නොසිතන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පරමාර්ථය විය යුත්තේ ඊළඟ වසර කිහිපයේදී මෙරට සිසු සිසුවියන් සඳහා විද්‍යා තාක්ෂණ දැනුම ලබාදීමයි. ඊට අමතරව ඉංග්‍රීසි දැනුම ලබාදීමත් ඉතා වැදගත් කාරණයක් වනවා. ඒ සඳහා ඉංග්‍රිසි ගුරුවරුන් පුහුණු කළ යුතුයි. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ටැබ් යන්ත්‍ර ලබාදෙන නිසා ඉංග්‍රීසි දැනුම අපට තව දුරටත් දියුණු කිරීමට හැකියාව තිබෙනවා. දකුණු ආසියාවෙන්ම පළමුවෙන්ම ජංගම දුරකථන භාවිතය වැඩිපුරම සිදුවූයේ ලංකාවේයි. අපේ ජනතාවට විද්‍යාව සහ තාක්ෂණය කෙරෙහි විශාල හුරුවක් තිබෙනවා. ඒ සඳහා අවකාශ ලබාදීම රජයේ අරමුණයි.

ඊළඟ වසර 30ක යුගයේ අනාගතය පිළිබදව හරියටම අනාවැකි කීමට හැකියාවක් නැහැ. රජය ගත් පියවර නිසා වත්මන් ශිෂ්‍ය පරපුරටත් ඊළඟ පරපුරටත් තාක්ෂණයෙන් සන්නද්ධ වී ඉදිරියට යාමට හැකියාවක් ලැබෙනවා. තව වසර 20කින් පමණ සිමෙන්ති, ගඩොල්වලින් තනන ලද පන්ති කාමර ක්‍රමය අහෝසි වනු ඇතැයි ඇතමුන් අනාවැකි පලකරනවා. මා සිතන ආකාරයට නම් එලෙස පන්ති කාමර අහෝසි වන්නේ නැහැ. නමුත් එම පන්ති කාමරවලට අමතරව තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූ පන්ති කාමර බිහිවේවි.

අපට පුස්තකාල නොමැතිවීමේ ප්‍රශ්නය බොහෝ දුරට විසදේවි. මෙහි අඩුපාඩුකම් සොයා ගෙන ඒවා සංශෝධනය කරමින් ඉදිරියට යාම අපේ අරමුණයි. මෙම වැඩකටයුත්ත සියයට සියයක් සාර්ථක වන ආකාරයට ක්‍රියාත්මක කරනවා නම් වසර පහක් හයක් ගතවෙනවා. එමනිසා පවතින පහසුකම් අනුව වැඩකටයුතු ආරම්භ කිරීම අපේ අරමුණ ‍යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News