කොරෝනා අසාධිත චීන කත සැරිසැරූ සියලු ස්ථාන පරීක්ෂාවට

Share

නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනාගෙන ඇති චීන කාන්තාව මධ්‍යම පළාත තුල සැරි සැරූ සියලු ස්ථාන සහ ඇයගේ සංචාරයේදී ඇයට සහාය දැක්වූ සියලු පුද්ගලයින් පිළිබඳව පරීක්ෂා කරන බැවින් ජනතාව කිසිදු අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

 

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සහ ජනතාව තුල පවතින බිය සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් අද(29) කළ විමසුමකදී අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසා සිටියේ  නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව අනිසි බයකින් පසුවන බව පෙනෙන නමුත් එවැනි කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවයි.

මධ්‍යම පළාතේ පමණක් නොව දිවයිනේ සියලු රෝහල් ඕනම අවස්ථාවක් සඳහා සූදානම්ව තිබෙන බවත් මහනුවර මහ රෝහලේ එක් වාට්ටුවක් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වෙන් කර තිබෙන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

පසුගියදා මධ්‍යම පළාත තුළද සංචාරය කර ඇති දැනට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනා ගෙන ඇති චීන කාන්තාවට සහාය වූ පුද්ගලයින් හය දෙනෙකු පරීක්ෂණ සඳහා රෝහලට ඇතුළත් කර තිබෙන බවත් ඇය සැරිසැරූ ස්ථාන සියල්ලත් පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවද අධ්‍යක්ෂවරයා තව දුරටත් සඳහන් කළේය.

මුඛ ආවරණ පැළඳීමට වැඩි උනන්දුවක් ජනතාව තුල දක්නට ලැබුණත් මුඛ ආවරණ අනිවාර්ය නොවන බවත් හැකිතාක් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් නොයන ලෙසත් කිවිසුම් යාමේදී  නිතරම ලේන්සුවක් භාවිතා කරන ලෙසත් එහි බිදිති අවට පරිසයට මුදා නොහරින ලෙසත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා තව දුරටත් පැවසීය.

කෙසේ නමුත් යම් කිසි කෙනෙකුට උණ, හිසරදය, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ මතු වුවහොත් ළඟම රෝහලට ඇතුලත් වන  ලෙස හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසත් පළත් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ඉල්ලා සිටියේය.

මෙම වෛරසය සම්බන්ධයෙන් සියලු දෙනා  අනිසි ලෙස බිය විය යුතු නැති බවත්, මෙම වෛරසය ආසාධනය වූ රෝගි අයෙකු සමඟ ඇසුරු කළ අය පමණක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු  කළ යුතු බවත්, අධ්‍යක්ෂ වෛද්‍ය තිලකරත්න මහතා පැවසීය.

මුළු රටේම පවතින තත්වය අනුව නිරන්තරයෙන් මෙම තත්වයන් නිරීක්ෂණය කරමින් සිටින බවත් ඉදිරියේ ඇති වන තත්වයන් අනුව අවශ්‍ය ආකාරයට එම අවස්ථාවන්ට මුහුණ දෙන බවත් අධ්‍යක්ෂ තිලකරත්න මහතා සඳහන් කළේය.

මධ්‍යම පළාතේ ජනතාව දැනුවත් කිරිම සඳහා පළාතේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද ජනතාව මේ සඳහා සහාය ලබා දිය යුතුබවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News