ආගන්තුක ජලජ පැලෑටි ඉවත් කිරීමේ යන්ත්‍ර 05ක්

Share

වැව් ඇතුළු ජලාශ හා ඇළ මාර්ගවල වැවෙන ජලජ පැලෑටි ඉවත් කිරීමේ යන්ත්‍ර 05ක් මිල දී ගැනීමට කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත.

දැනට මෙරට වැව් පද්ධතිය මුහුණ දී තිබෙන බරපතලම ගැටලුවක් ලෙස ආගන්තුක ආක්‍රමණික ජලජ පැළෑටි විශාල වශයෙන් වැව් ජලය මත වැවීම නිසා උද්ගතව ඇති පාරිසරික තත්ත්වයයි.

මේ නිසා කෘෂිකර්මාන්තයට අවශ්‍ය තරම් ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් වැව් වල රඳවා ගැනීම අසීරු වී ඇති අතර මත්ස්‍ය සම්පත බෝවීම කෙරෙහි ද මෙම ජලජ පැළෑටි අහිතකර ලෙස බලපා තිබේ.

රජය මගින් මෙම යන්ත්‍ර මිල දී ගැනීමට තීරණය කරන ලද්දේ පළමුවරට බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම එක් යන්ත්‍රයක් රුපියල් මිලියන 10ක් පමණ වන අතර මෙම යන්ත්‍ර මිල දී ගැනීම මගින් ධීවර කර්මාන්තයට පමණක් නොව කෘෂිකර්මාන්තයට මෙන්ම තවත් අංශ ගණනාවකට ඉන් ප්‍රයෝජන අත්වෙයි.

මේ වනවිට රජරට ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජලාශ හා ඇළ මාර්ග ජලජ පැළෑටි ආක්‍රමණය නිසා විනාශ වීමේ අවදානමක් මතුවී තිබෙන අතර මහජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා යොදා ගත හැකි ජල මුලාශ්‍ර පවා මෙමගින් හානියට පත්ව ඇත.

ඇතැම් ජලජ පැළෑටි වර්ෂ ගණනාවක් තිස්සේ ජලාශවල පැවතීම නිසා ජලය දුෂණය වී එම ජලාශවල ජලය විෂ සහිත තත්ත්වයට පත්ව ඇති අතර මත්ස්‍ය සම්පත් ඇතුළු ජලජ ජීවින් විනාශ වීමේ අවදානමක් ද මේ නිසා උද්ගතව පවතින බව මෙහිදී නිලධාරිහු අවධාරණය කළහ.

Read more

Local News